Thursday, October 24, 2024
Follow Us
මහවැලි "බී" කලාපයේ වැව් කිහිපයක ආක්‍රමණික ජලජ ශාක ඉවත් කෙරේ

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ "උණු දිය පොකුණු" පිහිටි මහවැලි "බී" කලාපයට අයත් නෙළුම් වැවේ සහ ඊට යාබදව ඇති බොරවැවේ, රිදීපොකුණ වැවේ ආක්‍රමණික ජලජ ශාක (පාසි) ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් පැවැත්විණ.

මෙම වැඩසටහන් පැවැත්වුණේ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අභිනව අධ්‍යක්‍ෂ ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල මහතාගේ උපදෙස් පරිදි, සැප්තැම්බර් 13 වනදාට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කර වසර 17ක් සපිරීම නිමිත්තෙන් මෙම ප්‍රජා සත්කාරය සංවිධාන කර තිබිණ.
ජලජ ශාක ඉවත් කිරීමට පියවර ගැනීම රොන්මඩ තැන්පත්වීම අවම වීම හේතුවෙන් වැව් තුළ උපරිම ධාරිතාවයකින් ජලය රඳවා ගැනීමටත්, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීමේ දී පැවති බාධා මඟ හරවා ගැනීමෙන් ප්‍රදේශයේ කුඹුරු අක්කර 600ක පමණ ප්‍රමාණයක් අස්වැද්දීමටත්, ධීවර කටයුතු අපහසුතාවයකින් තොරව පවත්වාගෙන යාමටත්, වැවෙහි සුන්දරත්වය තව තවත් වර්ධනය කිරීමටත් හේතු වේ.
මෙම අවස්ථාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 1,000ක පමණ භටපිරිසක්, මහවැලි නිලධාරීහු, ගොවි සංවිධාන හා ධීවර සමිතිවල සාමාජික මහත්ම මහත්මීහු රැසක් සහභාගි වූහ.