Thursday, October 24, 2024
Follow Us
බීමත් රියදුරන් හඳුනාගැනීමේ විශේෂ පරීක්ෂණ උපකරණ කට්ටල තොගයක්

මත්පැන් භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණ උපකරණ කට්ටලයක් භාවිතයෙන් නියමු ව්‍යාපෘතියක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරිණි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් ඒ සඳහා වූ විශේෂිත පරීක්ෂණ කට්ටල පන්දහසක් (5000) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ප්‍රතිපාදන යටතේ මෙරටට ගෙන්වා ඇත. එම පරීක්ෂණ කට්ටල අතරින් තුන් දහසක් (3000) යොදා ගනිමින් බස්නාහිර පලාත තුල ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන අංශය මගින් මැයි මස 10 වැනිදා සිට ජුලි මස 20 වනදා දක්වා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදි. එමගින් හදුනා ගන්නා ලද රියදුරන් රැසකට රියදුරු බලපත්‍ර අත්හිටූවීම් දඩ නියම කිරීම සහ සිර දඬුවම් ලබාදීම සිදුකර ඇති අතර අයිස්, හෙරොයින්, ගංජා, මත් පෙති, ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග 06ක්‍ හඳුනා ගැනීමේ හැකියාව මෙම පරීක්ෂණ කට්ටල සතුවේ.
නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මෙරටට ගෙන්වන ලද ඉතිරි පරීක්ෂණ කට්ටල 1975ක්‍ ශ්‍රී ලංකා පොලීසිය වෙත නිල වශයෙන් භාර දීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මෙරට මාර්ග සහ පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාවගේ ජීවිත සහ දේපල ආරක්ෂාව පිළිබඳව විශාල වගකීමක් ශ්‍රී ලංකාව පොලීසිය ඇතුළු වගකිවයුතු ආයතන වෙත පැවරෙනවා.
මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම තුළින් පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන් විශාල පිරිසකගේ සහ සමාන්‍ය ජනතාවගේ ජීවිත විශාල අවදානමකට ලක්වනවා. විශේෂයෙන්ම වර්තමානය වන විට සාම්ප්‍රදායික නොවන මත්ද්‍රව්‍ය පවා භාවිතා කිරීමට ඇතැම් රියැදුරන් පෙළඹීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක්. ඒ තුළින් අනෙකුත් සෑම අනතුරකටම වඩා බරපතල ඛේදවාචක ඇතිවීමේ හැකියාවක් සහ අවදානමක් පවතිනවා.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ විශේෂිත පරීක්ෂණ කට්ටල භාවිතයට යොදා ගැනීම පිළිබඳව ඒ වෙනුවෙන් කැප වූ සියලු අංශවලට මගේ ස්තුතිය පිරිනමනවා. පවතින ආර්ථික දුෂ්කරතා මත ඉදිරියේ දී අමාත්‍යාංශය වෙත මෙවැනි කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ අපහසුතාවයක් පවතිනවා. එබැවින් රථවාහන දඩ මුදල්වලින් ශ්‍රී ලංකා පොලීසියට වෙන්වන මුදලින් කොටසක් මෙවැනි උපකරණ ලබා ගැනීම සඳහා වෙන් කරනු ඇති බව මා බලාපොරොත්තු වනවා."
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න මහත්මිය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා, රථ වාහන, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඇතුළු ආයතන වල නිලධාරින් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.