Thursday, October 24, 2024
Follow Us
තම බිම් එළි කිරීමට එරෙහි වන්නියලෑත්තන්ගේ පෙත්සම

මහියංගණය රඹකැන් ඔය පොල්ලෙබැද්ද ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම්වලට අයත් වනාන්තර එළිපෙහෙළි කර පෞද්ගලික සමාගම්වලට පැවරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන් ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම ලබන පෙබරවාරි 6 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (8) තීරණය කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියාය.

මේ කරුණ සලකා බැලූ විනිසුරු මඬුල්ල මේ පෙත්සම සැප්තැම්බර් මස 8 දා විභාගයට ගැනීමට තීරණය කළේය. එදින කරුණු තහවුරු කරන ලෙස පාර්ශ්වයන්ට නියම කරන ලදි.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ඩබ්.ඩී. හේමන්ත සිසිර කුමාර මහතා මෙහි සෙසු පෙත්සම්කරුවෝ වෙති. මධ්‍යම පරිසර අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී. හේමන්ත ජයසිංහ, මහවැලි සංවර්ධන අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජෙනරාල් බී.ඒ. සුනිල් එස්. පෙරේරා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, වන ජීවී දෙපාර්තමේන්තුව, එහි අධ්‍යක්ෂ ජනරාල්, නීතිපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවෝ වෙති.

මෙරට ආදිවාසි ජනතාව සිය ජීවිකාව සලසාගැනීමට පොල්ලෙබැද්ද රඹකැන් ඔය ආශ්‍රිතව ඇති වනාන්තරය භාවිත කරන බව පෙත්සමෙහි සඳහන් වේ. රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තරයේ ඇති අක්කර 5,000කට අධික ඉඩම් ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන බඩ ඉරිඟු වගා කිරීමට පෞද්ගලික සමාගම්වලට දීමට කටයුතු කරන බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

වනාන්තරය එළිපෙහෙළි කර මෙලෙස නීති වීරෝධී ලෙස මහා පරිමාණයෙන් දීම වන සංරක්ෂණ පනත සහ වෘක්ෂ සහ තුරුලතා ආඥා පනත උල්ලංඝනය කිරීමක් බවද පෙත්සමෙහි සදහන් වේ. මේ කටයුත්තේදී අලිමංකඩ එළිපෙහෙළි කිරීමක්ද සිදු වන අතර අලීන්ට එහා මෙහා යෑමට බාධක ඇති වීම නිසා වන අලින් ගම්වැදීමේ අවදානමක් ඇති බවද පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

එසේම රඹකැන් ඔය ට ජලය සපයන ඇල මාර්ග අවහිර කර ගොඩ කරමින් බඩ ඉරිඟු වගා කිරීම සඳහා සූදානම් වන බවද සඳහන් කර තිබේ. මේ ව්‍යාපෘතිය සඳහන් කිසිදු පරිසර ඇගයීම් වාර්තාවක් ගෙන නැතැයිද පෙත්සමෙහි සදහන් වේ.

මේ ව්‍යාපෘතිය නිසා විශාල පරිසර හානියක් සිදු වීම මෙන්ම සිය වරිගයාට එදිනෙදා ජීවිකාව කරගෙන යෑමට බාධා ඇති වීමද සිදු වන බව ආදිවාසි නායකයා පවසයි. එසේම වැදි ජනතාවගේ සාම්ප්‍රදායික ජීවන රටාවට මෙමඟින් විශාල හානියක් වන බවද පෙත්සමෙහි සදහන් වේ. එබැවින් නීති විරෝධි ලෙස සිදු වන මේ කටයුත්ත වළකන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම මගින් ඉල්ලා ඇත. එසේම මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරිසර ඇගයීම් වාර්තාවක් ලබා ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කරන්නැයි පෙත්සම මගින් ඉල්ලා තිබේ.

නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය මඟින් ගොනු කර ඇති මේ පෙත්සම වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

-Dinamina