Thursday, October 24, 2024
Follow Us
විෂවීම් වැඩිවශයෙන් සිදු වන්නේ ගෘහාශ්‍රිතවයි

වැඩිපුරම විෂවීම් අද වන විට වාර්තා වන්නේ ගෘහාශ්‍රිතව බව කොළඹ ජාතික රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා පවසයි.

වෛද්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී අනපේක්ෂිත විෂවීම් වළක්වාගනිමු යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

එළඹෙන 11 වනදා සිට 17 වනදා දක්වා "අනපේක්ෂිත විෂවීම් වළක්වමු" යනුවෙන් සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි සඳහන් කළ විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා ලංකාව විෂවීම් බහුල රටක් බවත් පසුගිය දශක 02 පුරාවට (2000 - 2021) එන්න එන්නම විෂවීම් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වී ඇති බවත් අවධාරණය කළේය.

2000 වසරේ විෂවීම් 50,000කට අධික ප්‍රමාණයක්ද 2019 වනවිට එය 80,000 ඉක්මවා ඇතැයිද පැවසූ විශේෂඥ වෛද්‍යවරයා විෂවීම් වලින් 70%ක් සිතාමතා විෂ පානය කිරීම් වන බවද 30%ක් අනපේක්ෂිතව සිදුවන විෂවීම් බවද සඳහන් කළේය.

වසර 2000ට පෙර සහ 2004 දක්වා කාලසීමාව තුළ වැඩිපුරම විෂවීම් වාර්තා වූයේ කෘෂි රසායන හේතුවෙන් බවද අප ගෙදරදී එදිනෙදා භාවිතා කරන දේවල් හේතුවෙන් අද වන විට වැඩිපුරම විෂවීම් ගෘහාශ්‍රිතව වාර්තා වන බවද පැවසුවේය.

දෙවනි අවස්ථාව වශයෙන් අප භාවිතා කරන ඖෂධ නිසා සිදුවන විෂවීම් පෙන්වාදුන් වෛද්‍ය රවී ජයවර්ධන මහතා ලංකාවේ වැඩිපුරම විෂවීම් වාර්තා වන්නේ කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් බවද විෂවීම් හේතුවෙන් මරණයට පත්වීම් වැඩි වශයෙන් වාර්තා වන්නේද එම දිස්ත්‍රික්ක 02න්ම බව අවධාරණය කළේය.

ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයට ලැබෙන ඇමතුම් වලට අනූව තුනෙන් එකක් ඖෂධ සම්බන්ධ විෂවීම් බවද, ඉතිරි තුනෙන් එක ගෘහාශ්‍රිත විෂවීම් බවද කෘෂි රසායන හේතුවෙන් 30%කට අධික විෂවීම් වාර්තා වන බවද පැවසුවේය.

වැඩි වශයෙන් විෂවීම් සිදුවන්නේ අප සාමාන්‍යයෙන් නිවසේදී එදිනෙදා භාවිතාකරන දේවල් හේතුවෙන් බවද එය 32%ක් පමණ වන බවද කියාසිටි විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා වැඩි වශයෙන් අනපේක්ෂිත ලෙස විෂ ශරීරගත වන්නේ කුඩා දරුවන්ගේ බවද පැවසුවේය.

කුඩා දරුවෝ 4%ක පමණ ප්‍රමාණයක් අනපේක්ෂිත විෂවීම් වලට ලක්වන බවද, ඉන් අවුරුදු 1ත් 3ත් අතර දරුවන් 46%ක්ද, අවුරුදු 4ත් 14ත් අතර දරුවන් 35%ක්ද අවුරුදු 15ත් 19ත් අතර තරුණයින් 5%ක්ද අනපේක්ෂිතව විෂවීම් වලට ලක්වන බව සඳහන් කළේය.

90%ක්ම අනපේක්ෂිත විෂවීම් වලට ලක්වන්නේ කුඩා දරුවන් බවද ඔවුන් සියලුදෙනා වැඩිහිටි රැකවරණය යටතේ සිටින්නන් බවද වගකීම ඇත්තේ අප සතුව බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.