2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන තිබෙනවා.
සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු වරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.
මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම , එහි අධ්යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන සහ නවීන් මාරපන විසින් මතුකරන ලද මූලික විරෝධතා පිළිගනිමින් විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ගාමිණී මාරපන සහ නවීන් මාරපන යන ජනාධිපති නීතිඥවරුන් මීට පෙර නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම පුද්ගලයෙකු නොවන බැවින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කර තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමකින් පසුව තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ව පිළිගන්නා බව සඳහන් කළා.
අනතුරුව නඩුව දෙසැම්බර් මස 16 වනදා ට කල් දැමුණු අතර එදින පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන බවත් අධිකරණය නියෝග කළා.
2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදුවූ බැඳුම්කර වෙන්දේසිය ට අදාළව රුපියල් මිලියන 688 ක භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කිරීමක් තුළින් පොදු දේපළ පනතේ යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම්, එහි අධ්යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස් අර්ජුන ඇලෝසියස් කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණ.
Neth