කරවල සකස් කිරීමට ලබා දෙන මුවාවෙන් අලෙවි කරලා
රේගු භාරයේ තිබූ නරක් වූ මාළු බහාලුම් කීපයක් රාජ්‍ය ආයතනවලට මාළු සපයන කොන්ත්‍රාත්කරුවන් අතට පත්වී ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මාළු තොග කරවල වේළීම සඳහා කියමින් හොර රහසේම විකුණා ඇතැයිද සඳහන් වේ.
පසුගිය වසරේදී තායිලන්තය බලා යාත්‍රා කරමින් තිබූ නැවක විදුලිය විසන්ධි වීම නිසා එහි වූ මාළු අඩංගු බහාලුම් එකසිය දෙකක් (102) කොළඹ වරායේදී ගොඩ බා ඇත. පසුව ඉන් හතරක් කරවල සඳහා ඒ සමයේදීම ලබා දී තිබේ.
කෙසේ වෙතත් රේගුවේ ඉහළ නිලධාරියකුගේ ඥාතියකු විසින් නරක් වූ මාළු බහාලුම් මීගමුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක රඳවා පසුව ඒවා කරවල සකස් කිරීමට ලබා දෙන මුවාවෙන් අලෙවි කර ඇත.
ඉන් කන්ටේනර් පහක් පසුගිය පෙබරවාරි 16 හා 17 යන දිනවල පෑලියගොඩ මා ළු වෙළෙඳසලට ගෙනවිත් තිබේ.
මෙම මාළු තොග ආරක්ෂක අංශවලට හා රෝහල්වලට මාළු සපයන කොන්ත්‍රාත්කරුවන් කීප දෙනකු විසින් ඉතා අඩු මිලට ලබාගෙන ඇති බවටද තොරතුරු හෙළි වේ.
මේ අතර පසුගිය මස 28 දින එසේ තවත් මාළු කන්ටේනරයක් ආරක්ෂක අංශ හා රෝහල්වලට මාළු සපයන සමාගම් දෙකකට අලෙවි කිරීමට සූදානම් වී ඇති අතර එම ආයතන දෙක ඒවා ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් රජයේ ආයතනවලට සැපයුම් ලබාදෙන මොරටුව ප්‍රදේශයේ තවත් සමාගමක් එම මාළු කන්ටේනරය මිලට ගෙන තිබේ.
මීට සති කිපයකට පෙර වෙන්නප්පුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයකින් එවැනි නරක් වූ මාළු කන්ටේනර් කිහිපයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් කෙරිණි.
Aruna