Wednesday, October 30, 2024
Follow Us
පාන් ගෙඩිය රු.500ක් වෙන ලකුණු

අලුත් බද්දෙන් බේකරි නිෂ්පාදන මිලේ සිදුවන වෙනස


වැට් බද්ද ඉහළ යාම, හා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීමට සිදුවීම නිසා ලබන ඔක්තෝබර් මස පළමුවැනිදා සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩි කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

සියයට අටක පැවැති වැට් බද්ද සියයට 15 ක් දක්වා වැඩි කර තිබෙන බවත්, නිෂ්පාදනය, අලෙවිය සහ බෙදාහැරීමේ කටයුතු සඳහා සියයට දෙක හමාර බැගින් සමාජ ආරක්ෂණ බද්ද ගෙවීමට සිදුවී ඇතැයිද ඔහු කීවේය.

තිරිඟු පිටි මිටියක අවම මිල රුපියල් විසි එක් දහසක් දක්වා වැඩිවී තිබෙන බවත්, තිරිඟු පිටි හිඟය හේතුවෙන් රටේ බේකරි රැසක් වැසී ගොස් ඇතැයිද සභාපතිවරයා පැවසුවේය.

වෙළෙඳපොළේ පාන් රාත්තලක මිල රුපියල් 190 ක් වන අතර, සැන්විච් පාන් රාත්තලක් අලෙවි කෙරෙන්නේ රුපියල් 250ත් 300ත් අතර මිලකටය.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් පාන් අලෙවිය සියයට පනහකින් පමණ අඩුවී ඇතැයිද ඔහු කීවේය.

බේකරි විශාල සංඛ්‍යාවක් වැසීගොස් ඇති නිසා මේ වනවිට දරකපන දර සපයන විශාල පිරිසකගේ රැකියා අහිමිවී තිබෙන බවත්, පාන්පිටි සඳහා මේ වනවටි වෙළෙඳපොළ තුළ කළු කඩයක් නිර්මාණය වී ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා පැවසීය.

පවත්නා තත්ත්වය මත පාන් ගෙඩිය රුපියල් පන්සියයක් දක්වා ඉහළ යාහැකි බවත්, දුප්පත් ජනතාවගේ ආහාරයක්ව පැවැති පාන් ගෙඩිය මේ වන විට සුඛෝපභෝගී ජීවිත ගත කරන අයගේ ආහාරයක් බවට පත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සභාපති ෆසිර් මොහොමඩ් කීවේය.

Aruna