පාපිස්ස යට සිටි සර්පයා අල්ලා කටේ දමාගෙන හපන්න හදලා
උග්‍ර විෂ සහිත සර්පයකු වන පොළොංතෙලිස්සකු හත් වරක් දෂ්ට කළ මාස නවයක් වයසැති දැරියකගේ ජීවිතය මරුවාගෙන් ගලවා ගැනීමට කහවත්ත මූලික රෝහලේ වෛද්‍යවරු පිරිසක් පසුගියදා සමත් වූහ.
පොළොං තෙලිස්සා සිට ඇත්තේ නිවසේ පාපිස්සක් යට ය. පාපිස්ස යට සර්පයා සිටිනු දුටු දැරිය එක් අතකින් ඌ අල්ලාගෙන මුඛය තුළට ඔබා ගැනීමට තැත්කර තිබේ. එම අවස්ථාවේ දී සර්පයා දෂ්ට කර ඇත්තේ දැරියගේ මුහුණට ය. එම දැරිය බේරා ගැනීමට හැකි වී ඇත්තේ ඉක්මනින් ම රෝහල්ගත කිරීම නිසා ය.
සර්පයා දැරියගේ මුහුණට හත් වතාවක් පමණ දෂ්ට කර ඇති බව දැරිය පරික්ෂා කළ වෛද්‍යවරු පවසා තිබේ. වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම මත ජීවිත අවදානමකින් තොරව ඇයට ඉකුත් 24 වැනිදා යළි නිවසට යාමට හැකි වූවා ය.
දැරියගේ මව වන පී.එච්. ගයානි අදාළ සිද්ධිය මෙසේ විස්තර කළාය.
“අපි කහවත්ත, වැල්ලදුර ආගරේගම පදිංචි වෙලා ඉන්නේ. මට දරුවන් තිදෙනකු සිටිනවා. ළමයින්ගේ තාත්තා යුද හමුදාවේ වැඩ කරන්නේ. අවුරුදු දෙකක් වන මගේ පිරිමි දරුවාට නංගිව බලා ගන්න කියලා මම දවල්ට කෑම හදන්න කුස්සියට ගියා. එහි ඉන්න අතරේ එක්වරම පිරිමි දරුවා දුවගෙන ඇවිත් කිව්වා නංගි සර්පයකු කටේ දාගත්තා කියලා.
පස්සේ මම මහා හයියෙන් කෑ ගසමින් දැරිය අසලට දිව්වා. ඒ සද්දේට දුවට සර්පයා අතහැරුණා. පස්සේ අසල්වැසියන් සමග එකතු වෙලා සර්පයා අල්ලා බෝතලයකට දාගෙන කහවත්ත රෝහලට අරගෙන ගියා. ඒ වෙනකොටත් දුවගේ මුහුණ නිල්පාට වෙලා තිබුණෙ. දරුවන් ගැන කොතරම් අවධානයෙන් ඉන්න ඕනෑද කියා දැනෙන්න මෙවැනි සිදුවීමක් වෙන්නම ඕනෑ’’
Aruna