Thursday, October 24, 2024
Follow Us
‘දියකාවා යුද අභ්‍යාසය අදියර X–2019’ අවසන් ප්‍රහාරක පුහුණු අභ්‍යාසය ත්‍රි'මලේදී

ශ්‍රී ලංකා යුද හමුදාව දසවැනි වරට සංවිධානය කරන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරක පුහුණු අභ්‍යාසය ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ දී අද (23) පැවැත්වේ.

නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ද සහාය ඇතිව පවත්වන මෙම යුද අභ්‍යාසය වෙනුවෙන් විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්‍ෂකයින් 100 දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2,400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකුගේ සහභාගීවන අතර එය යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය පසුගිය 3 වැනි දා ආරම්භ කරන ලද අතර අනාගත පරපුර වෙනුවෙන් මෙන්ම විදේශීය හමුදා සාමාජිකයින් හා සහභාගී වන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ දැනුම සම්ප්‍රේරණය කිරීමට සහ යුදමය අත්දැකීම් හුවමාරු කැර ගැනීමට අතිශය පුළුල් සහ වඩාත් පරිපුර්ණ පුහුණු අභ්‍යාසයක් ලෙස වසර කිහිපයක් පුරා මෙම ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය පවත්වනු ලබයි.

මෙම යුද අභ්‍යාසය, ඕනෑම හදිසි අවස්ථාවක දී භට පිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් හා හැකියාවන්ගෙන් යුත් විශේෂ ක්‍රියාන්විත බලකායන් න්‍යායාත්මක රාමුවක් තුළ ක්‍රමවත්ව යෙදවීම සඳහා සැලසුම් කර ඇති අතර එය නැඟෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරිණි.

21 වැනි ශතවර්ෂය වනවිට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආරක්‍ෂක තර්ජනයන් වන රාජ්‍ය විරෝධි සහ අන්තවාදී කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය වර්තමානයේ පොදු ප්‍රවිෂ්ඨයක් බවට පත්ව ඇති මෙම අසම්මිතික ගැටුම්කාරී තත්ත්වයේ බලපෑම පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වමින් මෙම වසරේ යුද අභ්‍යාසය දියත් කෙරුණු අතර මූලික වශයෙන් සැලසුම් සකස් කිරීම, පූර්ව සුදානම, තාක්‍ෂණික භාවිතය, සමායෝජනය, අණදීම, පාලනය, යුද උපක්‍රමය, ශිල්පීය ක්‍රම සහ කාර්යය පටිපාටියන් මෙන්ම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආදිය පිළිබඳව මෙම අභ්‍යාසයේ දී පුළුල් අවධානයක් යොමු කැර තිබේ.

දියකාවා යුද අභ්‍යාසය මෙම වසරෙහි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මඟපෙන්වීම මත අභ්‍යාස අධ්‍යක්‍ෂක මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ මහතා ඇතුළු විශේෂ කමිටුවක පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැති අතර මෙම යුද අභ්‍යාසය සරල සමාරම්භක උත්සවයකින් අනතුරුව මින්නේරියේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මුලස්ථානයේ දී පසුගිය 3 දා ආරම්භ කෙරිණි.

විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන මෙම අභ්‍යාසය සඳහා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සෙබළුන්, නාවික හමුදා සෙබළුන් සහ ගුවන් හමුදා සෙබළුන් සහභාගි වූ අතර, මෙහිදි විශේෂ ක්‍රියාන්විත බලකායට අයත් භටපිරිස් යුද උපක්‍රම, යුද න්‍යායන් සහ යුද පිළිවෙත් න්‍යායාත්මක ක්‍රියාන්විත රාමුවක් තුළ ප්‍රායෝගීකව ක්‍රියාත්මක කරන අයුරු පුහුණු කැර තිබේ.

මලයාසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, අමෙරිකා එක්සත් ජනපදය, බංගලාදේශය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, පකිස්තානය, එක්සත් රාජධානීය සහ සිම්බාබ්වේ යන රටවල් හමුදා නියෝජිතයන් ද මෙම යුද අභ්‍යාසය සඳහා සහභාගි වූ අතර මෙම යුද අභ්‍යාසයේ දී විශේෂ ක්‍රියාන්විත අභ්‍යාස විස්සක් පමණ ක්‍රියාවට යෙදවීම තුළින් සහභාගි වන දෙස් විදෙස් හමුදා භටයින්ට එම මුලික න්‍යායාත්මක ක්‍රමෝපායන් ප්‍රායෝගීකව අත්දැකීමට ඉඩ ප්‍රස්තාව සැලසිණි.

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) හී අවසන් ප්‍රහාරත්මක යුද අභ්‍යාසය යුද, නාවික සහ ගුවන් හමුදාවන්ගේ සහාභාගීත්වයෙන් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස කුච්චවෙලි ප්‍රදේශයේ දී පැවැත්වෙන අතර එම යුද අභ්‍යාසයේ අවසන් අදියර නිමාවීමෙන් අනතුරුව, හෙට 24 වැනි දින අභ්‍යාසය පිළිබඳ පසුකථනයක් පැවැත්වීමෙන් පසු 'දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ හී සමාප්තිය සටහන් කෙරේ.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පරාජයට පත්කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හැකියාවන් යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරීව ඕනෑම අවස්ථාවකට සහ ඕනෑම අනාගත අභීයෝගයකට මුහුණ දී රටෙත් එහි ජනතාවගෙත් පූර්ණ ආරක්‍ෂකයා ලෙස පෙනීසිටිම යනාදී තත්ත්වයන් ස්ථාවරව පවත්වාගෙන යෑම යුද හමුදාපතිවරයාගේ අරමුණ වී තිබේ.

(Dinamina)