Tuesday, January 07, 2025
Follow Us
පාපැදි සම්මේලනය තුළ පවතින ගැටලු නිරාකරණයට සාකච්ඡා

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අතර සාකච්ඡාවක් ඊයේ (03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර ඇතුලු ක්‍රීඩා  අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් සහභාගී වූ අතර පාපැදි සම්මේලනයට අනුබද්ධ ආරාධිත සංගම්/සමාජ 66 ට අයත් නිලධාරීන් ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

පාපැදි සම්මේලනය තුළ පවතින ගැටලු සහ පාපැදි ක්‍රීඩාව තුළ පවතින ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එම ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට තරුණ කටයුතු සහ ක්‍රිඩා  අමත්‍යවරයා, අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වන බව ද අවධාරණය කළේය.

එමෙන්ම පා පැදි සම්මේලනයේ සාමාජිකයින් අතර ඇති ගැටලු පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණිය යුතු බවත්, ඉන්පසු පාපැදි කමිටුව පත් කිරීම, ඉන්පසු සම්මේලනය කැඳවා, නිලවරණයට පැවැත්විය හැකි බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

වර්තමානයේ ඇතිවී ඇති අර්බුද හේතුවෙන් ක්‍රීඩාව අඩාල වීමට ඉඩ තැබිය නොහැකි බවත් සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාගනිමින් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.