සියලූ බන්ධනාගාර සෝදිසි කර සතියක් ඇතුළත තහනම් භාණ්ඩ සිය භාරයට ගන්නැයි බන්ධනාගාර මූලස්ථානය, බන්ධනාගාර අධිකාරිවරුන්ට නියෝග කර තිබෙනවා. ඒ අනුව රැඳවියන් රඳවා සිටින වාට්ටු එම බන්ධනාගාරවල සේවය කරන විනයගරුක නිලධාරීන් පමණක් යොදා සෝදිසි කිරීම් සිදුකළ යුතු බවටයි බන්ධනාගාර අධිකාරිවරුන්ට උපදෙස් දී ඇත්තේ. රැඳවියන් සතුව පවතින ජංගම දුරකතන, මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ සොයා මෙම සෝදිසි මෙහෙයුම් ආරම්භ කරන ලෙස මෙලෙස නියෝග කර තිබෙනවා.
ඒ අනුව මාතර බන්ධනාගාරයේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රැඳවියෙකු රඳවා සිටි වාට්ටුවක තිබි ජංගම දුරකතනයක් සොයාගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් බන්ධනාගාරගතව, එම බන්ධනාගාරයේ D වාට්ටුවේ රඳවා සිටින අදාල රැඳවියාගේ කලිසමක සඟවා ගෙන සිටියදී එම ජංගම දුරකතනය සොයා ගැණුනා.
ඒ පිළිබඳ කළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ එම බන්ධනාගාරයේම සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයෙකු විසින් මෙම ජංගම දුරකතනය අදාල රැඳවියාට ලබාදී ඇති බවයි. පිටස්තර පුද්ගලයකු විසින් එම ජංගම දුරකතනය සැකකාර බන්ධනාගාර නියාමකවරයා වෙත ලබාදී ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
එම ජංගම දුරකතනය, අදාල රැඳවියාට ලබාදීම සඳහා බන්ධනාගාර නියාමකවරයා විසින් රුපියල් 15,000 ක මුදලක් ලබාගෙන ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
මේ වනවිට සැකකාර බන්ධනාගාර නියාමකවරයා වැඩතහනමට ලක්කර තිබෙනවා. ඔහුට එරෙහිව පොලිස් පරීක්ෂණයක් ද සිදුකරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් මාතර පොලිස් ස්ථානය වෙත දැනුම් දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර බන්ධනාගාර කිහිපයක ප්‍රධාන ජේලර්වරුන් කිහිපදෙනෙකු ඉදිරියේදී ස්ථාන මාරුකිරීමට ද නියමිතව තිබෙනවා. ඉකුත් සතියේ බන්ධනාගාර අධිකාරිවරුන් 23 දෙනෙකු වෙනත් බන්ධනාගාරවලට ස්ථාන මාරු කෙරුණා.
(භැඒය)