Monday, November 04, 2024
Follow Us
අප්‍රිකානු කලාපයේ සිට ලාංකිකයින් 289ක් දිවයිනට

අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කළ, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ සිට අද (21) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මැඩගස්කර්, මොසැම්බික්, උගන්ඩාව, කෙන්යාව, රුවන්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටින බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් මගීන් පිරිස ටැන්සානියාවේ, දාර් එස් සලාම් (Dar Es Salaam) නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1710 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ තුළ දී රජයේ සෞඛ්‍ය අංශ විසින් මෙම ගුවන් මගීන් පිරිස PCR
පරීක්ෂණ සඳහා යොමු කළ අතර, එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබෙනවා.

(Neth)