Saturday, November 02, 2024
Follow Us
අර්බුදයක් මතු නොවන ලෙස මැඳිහත්වීමට අවස්ථාව තිබුනත් මහ බැංකුව එය කළේ නෑ – හිටපු අධිපතිත් මහබැංකුවට දෙහි කපයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන සිදු කර ඇති ප්‍රකාශය තමන් පූර්ණ වශයෙන් පිළිගන්නා බවත් අර්බුදයක් මතුනොවන ආකාරයට මැදිහත්වීමට අවස්ථාව තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව එය ඉටු නොකළ බවත් හිටපු මහ බැංකු අධිපති, අග‍්‍රාමාත්‍ය ආර්ථික කටයුතු උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

විශේෂයෙක් ද ෆිනෑන්ස් සිදුවීමේදී අර්බුදයක් ඇති නොවන ආකාරයට මැදිහත් වීමට මහ බැංකුවට අවස්ථාවක් තිබුණද එය ඉටු නොකළ බවත් ‘ද ෆිනෑන්ස්” ආයතනය වසා දැමීමට මහ බැංකුව ගත් තීරණය සමඟ තමන්ට කිසිලෙසකින්වත් එකඟ විය නොහැකි බවත් ඔහු පැවසීය.

ඉතිහාසය තුළ මෙවැනි තත්ත්වයන් මනා ලෙස කළමනාකරණය කර ගත් තැනැත්තෙක් ලෙස කළ යුතුදේ පිළිබඳ උපදෙස් දුන්නද මහ බැංකුවේ ස්ථාවරය වූයේ ආයතනය වසා දැමීම බව අද අජිත් නිවාඩ් කබ්රාල් මහතා හෙළිදරව් කරන ලදී.

“විශේෂයෙන්ම මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක්, ඒ මහත්මයා හිටියේ මේක වහන්න ඕනෙමයි කියන මතයේ. ඉතිං වැහුවා. ලොකු හපන්කමක් කළා වගේ තමයි ඒ අය මේක කියන්න හදන්නේ. මේ නිසා තැන්පත්කරුවන් 10,072කට මුදල් ලැබෙන්නේ නැහැ. එම තැන්පත්කරුවන්ට මට පේන විදිහට රු.බිලියන 22.6ක් අහිමි වෙනවා. මේක සාධාරණද? මේකට මහ බැංකුවේ ඉන්න නිලධාරීන් වගකියන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්න දුන්නේ. මහ බැංකුවේ ඉන්නවා පෙන්ෂන් අරගන්න 2300ක්. ඒ වගේ හතර ගුණයකට මේ “ද ෆිනෑන්ස්” එක හරහා තමන්ගේ ආදායම අහිමි වෙනවා. ඒක සාධාරණද?ඒ සම්බන්ධයෙන් මැදිහත්වෙන්න හැකියාව තියෙද්දී එය නොකිරීම කිසි විටෙක අනුමත කරන්න බැහැ.” යැයි හිටපු මහබැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

මීට පෙර මෙවැනි තත්ත්වයන් ඇති වූ විට මනා ලෙස එය කළමනාකරණය ගත් තැනැත්තෙකු ලෙස ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන්නද මහබැංකුවේ ස්ථාවරය වූයේ එම ආයතනය වසා දැමීමේ යැයිද කබ්රාල් මහතා පැවසීය.

දැනට සිදුව ඇති වැරදි වහා නිවැරදි කර ද ෆිනෑන්ස් ආයතනය නැවත ස්ථාපිත කර ආර්ථිකය මෙහෙයවීමේ ක්‍රියාවලියට අනුගත කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

නමුත් දැනට ඉන්නා කණ්ඩායම් සමග එය සිදුකල නොහැකි බවද ජනතාවගේ පාර්ශවයෙන් කල්පනා කරමින් මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණ ආපසු හැරවීමට සිදුව තිබෙන බවත් එය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

(Lanka Leads)