Saturday, November 02, 2024
Follow Us
කල්බදු සමාගම් භාණ්ඩ අත්පත් කර ගැනීමේදී පවතින නීතිමය තත්ත්වයන් ගැන පැහැදිළි කිරීමක්

ඝාතනයට ලක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ සිද්ධියත් සමග ලීසිං පහසුකම් ලබාදෙන කල්බදු සමාගම් භාණ්ඩ අත්පත් කර ගැනීමේදී පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව ද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

එම නීතිමය තත්ත්වයන් පිළිබඳ පැහැදිළි කරන ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා සඳහන් කළේ "අවස්ථා 03ක් පුද්ගලයෙකුට දෙනවා ගෙවීම් කරන්න. තුන්වැනි අවස්ථාවේත් ගෙවීම් පැහැර හැර තිබුණොත් ඔය කියන වාහනය අත්පත් කර ගැනීමට ලීසිං ගිවිසුම යටතේ වාහනය ගැනීමේ හැකියාන තිබෙනවා. නමුත් එය කරන ක්‍රමවේදයක් තියෙනවා. පොලිසිය හරහා එය ලබා ගැනීමට ක්‍රියා කිරීමට පුළුවන්. එහෙම නැතුව බලහත්කාරයෙන් පුද්ගලයෙකුගෙන් වාහනයක් අත්පත් කර ගැනීමට බැහැ." යනුවෙනි.

බොහෝදෙනාගේ කතාබහට ලක්ව ඇති ලීසිං මාෆියාව සම්බන්ධයෙන් ඉදිරියේදී නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනින් ද සාකච්ඡා කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 08 දෙනා ලබන 25 වනදා දක්වා ඊයේ (11) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර කල්බදු භාණ්ඩ අත්පත් කරගැනීමේ සමාගම් නියාමනය කිරීම සඳහා පියවර ගත යුතුව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ ද පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඝාතනයට ලක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා අදහස් දක්වමින්. මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදිය යුතු බවත්, සාධාරණ සමාජයක් තුළ, නීතිය අතට ගෙන කි‍්‍රයාකිරීමට කිසිවෙකුටත් නොහැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ සිය ට්විටර් සටහනෙන් දක්වා තිබෙනවා.

(Neth)