Saturday, November 02, 2024
Follow Us
පාසල් පැවැත්වෙන කාල වේලාවන් නිසා අර්බුදයක් - පාසල් වෑන්රථ රියදුරන්ගේ සංගමය කියයි

පාසල්වල ශ්‍රේණි කිහිපයක අධ්‍යයන කටයුතු සිදුකෙරෙන කාලවේලාවන් සංශෝධනය කිරීම හේතුවෙන් ප‍්‍රායෝගික ගැටළු රැසක් මතුව ඇතැයි සමස්ථ ලංකා පාසැල් ළමුන් ප‍්‍රවාහන සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි එම සංගමයේ සභාපති මල්ශී‍්‍ර ද සිල්වා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

එහිදී ඔහු සඳහන් කළේ එකම වෑන් රථයෙන් වේලාවන් කිහිපයක් යටතේ පාසල් දරුවන් රැගෙන යෑම ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බවයි.

දෙවන පාසල් වාරය ජූනි 29 සිට අදියර 04 ක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ඉකුත් දා තීරණය කළා. ඒ අනුව ජූනි මස 29 වැනිදා සිට පාසැල් සඳහා කැඳවනු ලබන්නේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලයි.

ජූලි මස 06 වනදා 05 ශ්‍රේණිය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙනවා.

ජූලි මස 20 වැනිදා සිට පාසැල් විවෘත කෙරෙන්නේ 10 සහ 12 ශ්‍රේණි සඳහායි.

ජූලි මස 27 වැනිදා සිට 03, 04, 06, 07 , 08 සහ 09 යන ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙනු ඇති.

මේ අතර 03 සහ 04 ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු සිදුකෙරෙන්නේ පෙරවරු 07.30 සිට පෙරවරු 11.30 දක්වා පමණයි. මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා පෙරවරු 07.30 සිට පස්වරු 12.00 දක්වා අධ්‍යන කටයුතු සිදු කෙරෙනවා.

06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සිදුකෙරෙන්නේ පෙරවරු 07.30 සිට පස්වරු 01.30 දක්වායි. 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යයන කටයුතු පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා සිදු කෙරෙනු ඇති.

(Neth)