Saturday, November 02, 2024
Follow Us
බිත්තර, කුකුළු මස් මිල ඉහළට

අතරමැදියන් විසින් බඩඉරිඟු තොග සඟවා ගෙන බඩඉරිඟු මිල ඉහළ දැමීමත්, බඩඉරිඟු ආනයනය සඳහා රජය ආනයන බලපත්‍ර නිකුත් නොකිරීමත් නිසා දේශීය බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයන් දැඩි අසීරුතාවට පත්ව සිටිති.

බඩඉරිඟු මිල ගණන් මෙලෙස ඉහළ යාම හේතුවෙන් ඉදිරි දිනවලදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන්ද ඉහළ යනු ඇතැයිද බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයෝ අනතුරු අඟවති.

මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකි. එසේ වුවද මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ බඩඉරිඟු මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දහසක් (280,000) පමණක් බවද කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයෝ පවසති. මෙරට බඩඉරිඟු නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් මහ කන්නයේදී නිෂ්පාදනය කෙරෙන අතර, යල කන්නයේදී නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 30,000 ක් පමණ බවද ආචාර්ය අමරසිංහ කියන්නේය.

මෙරට නිෂ්පාදනය කෙරෙන බඩඉරිඟු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 10,000 ක් පමණ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබයි.

මහ කන්නයේ වගා කරන බඩඉරිඟු අස්වනු ජනවාරි මාසයේ 15 වැනිදාත්, ජුනි මාසයේ 15 වැනිදා අතර කාලයේදී නෙළා ගන්නා අතර, ඉන් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් ගොවියාගෙන් මිලදී ගන්නේ අතරමැදියන්ය. මෙලෙස මහ කන්නයේ බඩඉරිඟු අස්වනු කිලෝවක් අතරමැදියන් විසින් ගොවියාගෙන් මිලදී ගන්නේ රුපියල් 30.00, 40.00 ආදී වූ විවිධ මිල ගණන්වලටය. මෙලෙස ගොවියාගෙන් අඩු මිලකට මිලදී ගන්නා බඩ ඉරිඟු කිලෝවක් අතරමැදියන් විසින් අදවනවිට අලෙවි කරන්නේ රුපියල් 72.00 ක් වැනි අධික මිලකටය. ගොවියාගෙන් අඩු මිලකට සූරාකන බඩඉරිඟු අස්වැන්න අතරමැදියා වැඩි මිලකට විකුණා අධික ලාභයක් ලබන්නේ කලක පටන්ය.

ගොවියාගෙන් අඩු මිලට ගන්නා බඩඉරිඟු අස්වැන්නේ මිල වැඩිවනතුරු අතරමැදියන් සිය ගබඩාවල සඟවාගෙන සිටින බව කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයෝ පවසති.

“බඩඉරිඟු කියන්නේ කුකුළන්ගේ ප්‍රධාන ආහාරයයි. මෙලෙස බඩඉරිඟු මිල ක්‍රමයෙන් ඉහළ යාමට බලපා ඇත්තේ රජය විසින් බඩ ඉරිඟු සඳහා මිල පාලනයක් නොකිරීමයි. පසුගිය කාලයේදී රජය කියා සිටියා බඩ ඉරිඟු සඳහා රුපියල් 55.00 කට වඩා වැඩි මිලකට අලෙවි කළ නොහැකි පරිදි පාලන මිලක් නියම කරන බවයි. එමෙන්ම බඩඉරිඟු කිලෝවක මිල රුපියල් 55.00 කට වඩා වැඩි කළහොත්, බඩඉරිඟු ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍ර ලබාදෙන බව පැවසුවා. නමුත්, තවමත් මෙම ගැටලුව විසඳන්න රජයේ මැදිහත්වීමක් නෑ” යැයි කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයකු කීවේය.

කෙසේ නමුත්, දැනට දින තුනකට ඉහතදී රුපියල් 69.00 ක්ව පැවැති බඩඉරිඟු කිලෝවක මිල ඊයේ (09 වැනිදා) දිනය වන විටදී රුපියල් 72.00 ක් දක්වා වැඩිවී තිබේ. ගොවියාගෙන් අඩු මිලකට ලබා ගත් බඩඉරිඟු තොග දිනෙන් දින මිල වැඩිකර විකිණීමට අතරමැදියන් කටයුතු කරමින් සිටිති.

“සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන්ට අවශ්‍ය බඩඉරිඟු තොග ප්‍රමාණයන් කොපමණ දැයි විමසා පසුගියදා ලැයිස්තුවක් ගත්තා. ආනයන බලපත්‍ර නිකුත් කළා නම් මේ ගැටලුව මෙතරම් උත්සන්න වෙන්නේ නෑ. පකිස්තානයෙන් බඩඉරිඟු කිලෝවක් මෙරටට ආනයනය කරන්න වැය වන්නේ රුපියල් 42.00 ක පමණ මුදලක්. රජය රුපියල් 10.00 ක බද්දක් අය කළත් ආනයනික බඩඉරිඟු කිලෝවක මිල රුපියල් 52.00 යි. නමුත්, බඩඉරිඟු ආනයනික බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම නිසා වැඩි මිලට බඩ ඉරිඟු මිලදී ගැනීමට සිදුවී තිබෙනවා” යැයි කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයෝ කියා සිටිති.

ආනයනික බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව නිසා බවද ඔවුහු පවසති.

රටේ අතරමැදියන් සතුව මේ වන විට ඇත්තේ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 40,000 ක පමණ ප්‍රමාණයකි. එම ප්‍රමාණය මෙරට මාසික අවශ්‍යතාවටවත් ප්‍රමාණවත් නැහැ.

මෙලෙස ආහාර වියදම ඉහළ යෑම නිසා බිත්තරයක් නිෂ්පාදනය සඳහා රුපියල් 14.50 ක්ද, කුකුළු මස් කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 310 ක්ද වැය වන බව කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයෝ පවසති. එමෙන්ම තත්ත්වය කොතරම් බරපතළවීද කියහොත් සුළු පරිමාණයේ කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. සුළු පරිමාණයේ කුකුළු ගොවිපොළවල් රැසක් වැසී ගොස් ඇතැයිද කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයෝ පවසති.

(Aruna)