Saturday, November 02, 2024
Follow Us
කොළඹ සිටින ජනතාවගේ තොරතුරු පොලිසියේ පරිගණක දත්ත ගබඩාවට

කොළඹ දිස්ත‍්‍රික්කය තුළ තාවකාලිකව පදිංචි පුද්ගලයින් ලක්ෂ 02 කට ආසන්න පිරිසක් සිටින බව අනාවරණ වී තිබෙනවා. ඒ, සුරකිමු ලංකා ප‍්‍රජා පොලිස් ක‍්‍රමවේදය යටතේ කොළඹ දිස්ත‍්‍රික්කය තුල තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා පොලිසිය කි‍්‍රයාත්මක කළ වැඩසටහනකදීයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන් එම වැඩසටහන ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා සිට ආරම්භ කෙරුණේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් යුතුවයි.

ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාම නිලධාරී වසම් 160 ක් තුළ තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් එක්ලක්ෂ 96,804 දෙනෙකුගේ තොරතුරු ඒකරාශී කර ඇති බවයි පොලිසිය පවසන්නේ. එලෙස රැස් කල තොරතුරු පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් පරිගණකගත විශේෂ දත්ත පද්ධතියක් වෙත ඇතුළත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

අදියර 03 ක් යටතේ කි‍්‍රයාත්මක කෙරුණු එම වැඩසටහනේදී කොළඹ දිස්ති‍්‍රක්කයේ තෝරාගත් ග‍්‍රාම නිලධාරි වසම්වල නිවාසයන්හි තාවකාලිකව පදිංචිව හෝ ලැගුම් ගෙන සිටින පුද්ගලයින්ගේ තොරතුරු ලබාගැනීම ප‍්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් හා පොලිස් නිලධාරීන් ඒකාබද්ධව සිදු කර තිබෙනවා.

(Neth)