රජයේ කාර්යාල සේවා මුර දෙකක් යටතේ විවෘත නොකළහොත් එම සේවකයන් මෙන්ම ඉන් සේවාව ලබාගැනීමට පැමිණෙන මහජනතාවට මෙම සතියේ සිට බස් රථවල දැඩි තදබදයකට ලක්වීමට හැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
දැනට පෞද්ගලික අංශය උදෑසන 10 ට ආරම්භ වන නිසා රාජ්‍ය අංශය පළමු කාණ්ඩය උදෑසන 9ට ආරම්භ වී සවස 3ට අවසන් කරන ලෙසටත්, අනෙක් අදියර දහවල් 1 ට ආරම්භ වී සවස 7ට අවසන් වෙන ලෙසටත් කාර්යාල විවෘත කළහොත් ඇතිවිය හැකි තදබදය අවම කරගත හැකි බවද ගැමුණු විජේරත්න පෙන්වා දෙයි. කෙසේ වෙතත් එළැඹෙන සතියේ සිට ප්‍රවාහන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව මීට පෙර ධාවනය වූ සියලුම දුර හා කෙටි ගමන් සේවා බස් රථ සියල්ලම ධාවනය කිරීමට නියමිත බවද සභාපතිවරයා සඳහන් කරයි. ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍යයෙන් සිදුවූ දුර ගමන් වාර 600 සමග බස් රථ 5000 කට ආසන්න ප්‍රමාණයක්ද මෙම සතියේ සිට ධාවනයට යොදවන බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවකද පැවැසීය.
(Aruna)