Saturday, November 02, 2024
Follow Us
දුම්රිය-බස් රිය අද සිට පෙර පරිදිම

සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා කටයුතු අද (08වැනිදා) දින සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට තීරණය කළ බව ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පිට පළාත්වල බස් රථවලට ඇතුළු වීමට අවස්ථාව සැලැසේ.

පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද (08) ජනාධිපතිවරයා ඇතුළු අදාළ පාර්ශ්ව අතර සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය. මේ වන විට පෞද්ගලික බස් රථ සියයට හැටක් පමණ ධාවනයේ යෙදෙන බවත් පාඩු නොලබා ඉදිරියේ දී පෞද්ගලික බස් රථ ධාවනයේ යෙදවීම පිළිබඳව අද දින ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් පසුව තීරණය වනු ඇති බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවැසීය. මේ අතර දුම්රිය ගමනා ගමන කටයුතු අද (08දා) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එස්. පොල්වත්ත පවසයි. ඒ අනුව දුර ගමන් සේවා, නගරාන්තර දුම්රිය සහ තැපැල් දුම්රිය සේවාද ඇතුළුව දුම්රිය ගමන්වාර 340කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට කටයුතු කර ඇති බව හෙතෙම පැවසීය. මෙම දුම්රිය ගමන් වාර පෙර පැවැති දුම්රිය කාලසටහනට අනුව ක්‍රියාත්මකවීමට නියමිත බවද ඔහු පැවසීය. කෙසේ නමුත් ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ වායුසමීකරණය කළ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ලබන සිකුරාදා (12 වැනිදා) දින සිට බදුල්ලට ධාවනය වන දෙවිනුවර මැණිකේ දුම්රිය නැවත දැනුම් දෙනතුරු ධාවනයේ යෙදෙන්නේ නැත. කාර්යාල සේවකයන් දුම්රිය ගමන්වාර 340කට වැඩි සංඛ්‍යාවක් සඳහා ලියාපදිංචි කිරීම ප්‍රායෝගික නොවන බැවින් දුරස්ථ භාවය පවත්වාගෙන ආරක්ෂාව සලසා ගැනීම ජනතාවගේ වගකීම වන බවද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)