පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව සහ ජුනි 20 වැනිදා ඡන්ද විමසීම පැවැත්වීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදන අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම 10 වැනි දිනයටත් අද (01) පෙරවරු 10 ට ආරම්භ කෙරිණි.
ඒ අනුව අදාල පෙත්සම් සලකා බැලීම අද පස්වරුවේ අවසන් වූ අතර පෙත්සම් පිළිබඳ විභාගය තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව හෙට දිනයේදී තීරණය කිරීමට නියමිතය. පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය අද දැනුම් දුන්නේ ඒ පිළිබඳ අධිකරණයේ තීරණය හෙට පස්වරු 03 ට ප්‍රකාශයට පත් කරන බවයි.
නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ මහ මැතිවරණය පැවැත්වීමට අදාල සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මේ සතිය අවසන්වීමට පෙර නිකුත් කිරන බවයි. සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වනවිට අදාල මාර්ගෝපදේශ සකස් කිරීමේ කටයුතු සිදු කරමින් සිටින බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ පෙත්සම් ගොනු කිරීම සඳහා පෙත්සම්කරුවන්ට පූර්ණ බලතල ඇති බවයි.
(LNW)