Friday, November 01, 2024
Follow Us
ආසන ගණනට මගීන් ගෙන යෑම නීතියක් වන්නේ නම් බස් සංගම් ගාස්තු වැඩි කරන්න ඉල්ලයි

ආසන ගණනට පමණක් බස් රථවල මගීන් ගෙනයාම නීතියක් ලෙස පැනවීමට මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන් විවිධ අදහස් පළ කරනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමාගම් සම්මේලනය පැවසුවේ මෙම යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට නම් බස් ගාස්තු සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩි කළ යුතු බවයි. එහි ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මේ බව සඳහන් කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අන්තර් පළාත් බස් සංගමයෙන් ද විමසීමක් කළා. එහි සභාපති සරත් විජිතකුමාර පැවසුවේ ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම නීතියක් ලෙස පැනවුවහොත් බස් කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටෙනු ඇති බවයි. එහිදී බස් රථයක් සඳහා වැයවන වියදම පියවා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වෙන බවයි පෙන්වා දුන්නේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති ගැමුණු විජේරත්න ද මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. ඔහු පැවසුවේ ආසන ගණනට පමණක් බස් රථවල මගීන් ගෙනයාම නීතියක් ලෙස පැනවීමට අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාවට සංකල්පයක් ලෙස එකඟ වන බවයි. එහෙත් එම යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට නම් විකල්ප ගාස්තු ක‍්‍රමයක් හඳුන්වා දිය යුතු බව ද ඔහු පැවසුවා.

බස් කර්මාන්තයේ විසඳාගත යුතුව ඇති තවත් ප‍්‍රායෝගික ගැටලූ කිහිපයක් ද මෙහිදී විස්තර කෙරුණා.

බස්රථවල සහ දුම්රියන්ගේ මේ දිනවල මගීන් ගෙනයාමට අවසර දී ඇත්තේ ආසන ගණනට පමණයි. කොවිඞ් -19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් සැලකිල්ලට ගෙන මෙම සීමාව පනවා තිබෙනවා. කෙසේවෙතත් ආසනයක වාඩිවී ආරක්ෂිතව ගමනාන්තය කරා යාම ප‍්‍රවේශ පත‍්‍රයක් මිලදී ගන්නා ඕනෑම මගියෙකුගේ අයිතියක් බවයි ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දුන්නේ. බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙනයාම නීතියක් ලෙස පැනවීමට අමාත්‍යවරයා යෝජනා කළේ ද ඒ අනුවයි.

(Neth)