Friday, November 01, 2024
Follow Us
පූජිත්ගේ පෙත්සම සැප්තැම්බර් 09 විභාගයට ගැනීමට නියමිතයි

තමන් පොලිස්පති තනතුරෙන් අනිවාර්ය නිවාඩු යැවීම හරහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් මස 09 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

අදාල පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණි. ඒ අනුව විනිසුරු මඩුල්ල, අදාල පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 09 වැනිදාට දින නියම කළේය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වීම හේත‍ුවෙන් පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ අතර ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ එවැනි පියවරක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ එම තීරණය අත්හිටුවා තමන් යළි සේවයේ පිහිටුවන ලෙස ද පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සම හරහා අධිකරණයෙන් ඉල්ලා සිටී.

(LNW)