Saturday, October 19, 2024
Follow Us

මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ බලාපොරොත්තුව බවත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව බුදුදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට නව රජය  බැඳී සිටින බවත්  ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී  අද (25) සිය ධූරයේ  රාජකාරි ආරම්භ කරමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය. 

එසේම අනෙකුත් සියලු ආගම් ඇදහීමේ අයිතිය සහ එම නිදහස ආරක්ෂා කිරීම වගකීමක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  ආගමික සහජීවනය ඇති කිරීමට ජාතික සමගිය ගොඩනැගීමට මෙරටයහපත් දේශපාලන සංස්කෘතියක්  ඇති කිරීම නව රජයේ බලාපොරොත්තුව බවද ඒ වෙුනවෙන්  මෙරට ජනතාව තැබූ විශ්වාසය  ආරක්ෂා කරන බවද පෙන්වා දුන්නේය.

ඒ සඳහා ජනාධිපතිවරයාගේ මග පෙන්වීම අනුව සාමූහික උත්සහයන් තුළින් මෙම අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය මාධ්‍ය වගකීම නියමාකාරව ඉටු කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා වන්නේද  විජිත හේරත් මහතායි.