Saturday, October 19, 2024
Follow Us
නිවාස බද්දෙන්  රටේ ජනතාවගෙන් 90%කට සිදු වන්නේ වාසියක්

යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බවත්, එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එබැවින් සාමාන්‍ය ජනතාව මෙම බද්ද සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බව  අමාත්‍යවරයා අවධාරණය කරයි. කැසිනෝ ශාලා සඳහා සිදු කළ බදු සංශෝධනවලට අදාළ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද(19) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවැසීය.

බද්දට යටත් වන 10%ක තරම් පිරිසගෙන් අය කර ගන්නා බදු සෙසු 90%ක් වන ජනතාවගේ අවශ්‍යතා සඳහා වැය කරන බව අමාත්‍යවරයා මෙහිදී  සඳහන් කළේය.

මේ අතර කැසිනෝ ශාලාවලින් නියමිත බදු මුදල අයකර ගැනීම සිදුවන්නේ වත්මන් පාලනය යටතේ බව ද ඒ අනුව කැසිනෝ ශාලාවක පිරිවැටුමෙන් 60%ක් රාජ්‍ය ආදායමට එක් කර ගැනීමට රජය සමත්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

 මීට පෙර කැසිනෝ ශාලාවලින් අය කර ගනු ලැබුවේ ආදායම් බදු පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ  මේ වන විට බලපත්‍ර සඳහා කෝටි 50ක්, වාර්ෂික අලුත් කිරීම සඳහා කෝටි 50ක් සේම පිරිවැටුමෙන් 15%ක් ලෙස කැසිනෝ ශාලාවලින් අයකරන බවයි. 

අමාත්‍යවරයා සඳහන් කරන්නේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සේම ඇතැම් ව්‍යාපාර අධෛර්මත් කිරීමත් බදු අය කර ගැනීමේ අපේක්ෂාවන් වන බවයි. ඒ අනුව මේ වන විට කැසිනෝ සඳහා ලෝකයේ වැඩිම බදු අයකරන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.