Tuesday, October 22, 2024
Follow Us
එජාප අපේක්ෂකයා තේරීම රහස් ඡන්දයෙන්?

එක්සත් ජාතික පක්ෂයෙන් හෝ එජාපය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් ලබා ගැනීමට එජාප මැති ඇමතිවරුන් කණ්ඩායමක් උත්සාහ කරමින් සිටී. අපේක්ෂක අර්බුදය සම්බන්ධයෙන් එජාප නායකයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාව කිසිදු විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් මෙම තීරණයට පැමිණ තිබේ.



පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා අරලියගහ මන්දිරයේදී එජාප නායකයා හමු වූ අතර, එහිදී ඔහු පවසා ඇත්තේ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බවයි. ඒ සඳහා පක්ෂයේ මෙන්ම එජාපය සමග සිටින දේශපාලන පක්ෂවල සහ වෙනත් සංවිධානවල බහුතරයකගේ සහායද හිමිව ඇති බවයි ඔහු සිය නායකයා වෙත අවධාරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් එය එජාප නායකයා පිළිගැනීමට සූදානම් වී නොමැති අතර ඔහු පවසා ඇත්තේ එජාපයේ බහුතරය තවමත් ඇත්තේ තමන් සමග බවයි. එසේම සුළු ජාතික පක්ෂ ද සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වයට එකඟ නොමැති බව ද එජාප නායකයා පවසා තිබිණි.

මෙම තත්ත්වය හමුවේ රහස් ඡන්දයක් හරහා හෝ සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ඔහුට හිතවත් මැති ඇමතිවරුන් සූදානමින් සිටී. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් අපේක්ෂකයා තෝරාගත යුතු බවට එජාප නායකයා වෙත යෝජනා කිරීමට සජිත් හිතවාදී අදාල මැති ඇමතිවරුන් පිරිස සූදානම් වේ.

එය ලිඛිතව ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉදිරියේදී එම යෝජනාව සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකගේ අත්සන් ලබා ගැනීමට සජිත් හිතවාදීන් සූදානමින් සිටී.

(LNW)