Tuesday, October 22, 2024
Follow Us
කළුතරින් ජනාධිපතිවරයෙකු ගේන්න : සිහල රාවය වැඩ !

ජාතික නායකයින්ගේ හිඟයක් පවතින වකවානුවක කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කිරීමට මෙවර ද අවස්ථාව උදා වී ඇති බව සිහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ (21) පවසා තිබේ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත්තේ රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ ආගමික උත්සවයක දී අනුශාසනාව පවත්වමින්ය.

භික්ෂූන් වහන්සේලා සියක් නමක් විෂයෙහි දානමය පිංකමක් පැවැත්වුන අතර, කළුතර නගර මධ්‍යයේ සිට කළුතර බෝධිය දක්වා මහා සංඝරත්නය වැඩම කරවූයේ අලංකාර පෙරහැරකිනි. මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ද එක්ව සිටියේය.

අනුශාසනාව පවත්මින් වැඩිදුරටත් අදහස් දැක් වූ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙසේ ද පවසා ඇත.

“මවක් සහ පියෙක් තම දරුවන්ට කළ සත්කාරයක් ලෙස සාමණේර භික්ෂූන්වහන්සේලාට අවශ්‍ය පූජා භාණ්ඩ ලබාදීම මම මෙහිදී අගය කරනවා. සම්බුද්ධ ශාසනයට විවිධ අභියෝග එල්ලවන වකවානුවක සාමණේර භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි. සම්බුද්ධ ශාසනයට විවිධ අභියෝග එල්ල වූ අවස්ථාවක තමයි පළමු දර්ම සංඝයනාව ඇතුලු දර්ම සංඝායනා සිදු කළේ. වර්තමානයේත් සියයට 100 ක්ම නිවැරදි නොවන ඇතැම් භික්ෂූන් වහන්සේලා ද සිටිනවා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඉළක්ක කර ගනිමින් එක්තරා ආමාත්‍යවරයෙක් ශාසන විරෝධී ක්‍රියාකාරකම් පිළිබදව විරෝධතා මතු කළා. අපි මේ පිළිබදව මහානායක හිමිවරු මෙන්ම එම අමාත්‍යවරයා ද දැනුවත් කළා. අපි යෝජනා කළා විනය විරෝධි භික්ෂූන් වහන්සේලා පිළිබදව කථීකාවතක් ඇති කළ යුතු බවට. සමස්ත භික්ෂූ පරපුරටම හානියක් සිදු නොකරන ලෙස අපි මෙහිදී ඉල්ලා සිටියා. මෙම ප්‍රකාශ පිළිබදව රාජිත සේනාරත්න අමාත්‍යවරයා උපේක්ෂා සහගතව බලා සිටින්න ඇතැයි මම සිතනවා.”

“සෞඛ්‍ය අමාත්‍යවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍යවරයෙකු බිහි වූවත්, ජනාධිපතිවරයෙකු බිහි වී නැහැ. කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට කාලය උදා වී තිබෙනවා. ජාතික නායකත්වයේ හිඟයක් පවතින අතර, එම හිඟය මකා දැමීමට කළුතර දිස්ත්‍රික්කයේ අපට අවස්ථාව උදා වී තිබෙනවා. සියලු දෙනා එකමුතු කිරීම කාලීන අවශ්‍යතාවයක්.”

මෙම අවස්ථාවට අනුනායක ධුරන්දර අතිපූජ්‍ය දෙදියවල තිලකසිරි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

(News Tube)