Tuesday, October 22, 2024
Follow Us
මහින්ද පරාද උනේ පාරෙ කහ ඉරි නිසා - බැසිල්

පාර මාරුවීමේදී කහ ඉරෙන් පාර මාරුවීම අනිවාර්ය කිරීම ද පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතු වූ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා පොදුජන පෙරමුණ සංවිධානය කළ තරුණ වෘත්තීයවේදීන්ගේ සමුළුවක් අමතමිනි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එහි වගකීම තමා ප්‍රසිද්ධියේ භාර ගත්තද පරාජය හේතු වූයේ කුමක්ද යන්න පිළිබඳව විමසීම් සිදුකළ බවත් එහිදී මෙම කහ ඉරි ගැටලුව හඳුනා ගත් බවත් ඔහු පවසා තිබෙනවා.

කහ ඉරි අනිවාර්ය කිරීම ත් සමග එම නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට මාර්ග නීති සම්බන්ධයෙන් දැනුවත්වීම සඳහා සෙනසුරාදා ඉරිදා පන්තිවලට සහභාගිවීමට සිදු වූ බවත්, මේ නිසා ඇතැම් පුද්ගලයන් දැඩි අපහසුතාවයට පත් වූ බව අනාවරණය වූ බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

'බෞද්ධාලෝක මාවතේ පිහිටි රජයේ ආයතන කිහිපයක පිරිස් හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් මම විමසීමක් කළා. ඔවුන්ට තේ බීමට තිබෙන්නේ විනාඩි 15යි. බෞද්ධාලෝක මාවතට ගිහින් තේ බීලා එනකොට තේ බොන්න තියෙන වෙලාව අවසන් වෙනවා. කෙටි මාර්ගයකින් යන්න තිබුණු හැකියාව කහ ඉර අනිවාර්ය කිරීම නිසා ඔවුන්ට අහිමි වුණා. කහ ඉර ළගට ගිහින් පාර මාරු වෙලා තේ බීලා එනකොට තේ බොන්න ලැබෙන වෙලාව අවසන් වෙලා. කහ ඉරෙන් මාරු වුණේ නැත්නම් පැයක් විතර තියාගෙන, සෙනසුරාද ඉරිදා පන්ති එන්න කියනවා. ඒ නිසා අපි බොහෝ දෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයට ඡන්දය දුන්නෙ නෑ කියලා ඒ අය කිව්වා. ඒ කියන්නේ ඡන්දය නොදෙන්න හේතුවක් වුණේ කහ ඉරෙන් පාර පැනීම අනිවාර්ය කිරීම.'

(LNW)