Tuesday, October 22, 2024
Follow Us
“ඒක කොච්චර හොඳ ද?’’ - චමල් කරළියට

චමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා විය හැකි බවට ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සුභවාදී ලෙස පිළිතුරු දී තිබුණි.

චමල් රාජපක්ෂ මහතා පිළිතුරු දී තිබුණේ "ඒක කොච්චර හොඳ ද?" යනුවෙනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ආගෝස්තු 11 වැනිදා ප්‍රකාශ වනු ඇති බවයි ඔහු කියාසිටියේ.

අගෝස්තු 11 වැනිදා වන තෙක් අපේක්ෂකයා තමන්ද නැත්නම් ගෝඨාභය රාජපක්ෂද යන්න නිශ්චිතව පැවසිය නොහැකි බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

බදුල්ල ප්‍රද්ශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ පූර්ණ බලය මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇති බව පොහොට්ටු නියෝජිතයින් නිරන්තරයෙන් පවසන කාරණයකි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද එය නැවත තහවුරු කළේය.

පොහොට්ටුව අභ්‍යන්තරයේ මෙන්ම බාහිරවද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කණ්ඩායමක් පෙනී සිටින අතර මෙම තීන්දුවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ අදහසද විශාල බලපෑමක් එල්ල කරන බවයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

(LNW)