Tuesday, October 22, 2024
Follow Us
ජනපති - සජිත් ප්‍රේමය දේශපාලන ප්‍රේමයක් නෙවෙයි - ඩිලාන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයකැයි තමන් නොසිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට යම් ක්ෂේත්‍රයක් භාරදුන් පසුව ඔහු කටයුතු කරන ආකාරය පිළිබඳව ඇතිවූ ඇගයීම හේතුවෙන් මේ ප්‍රේමය ඇතිවී ඇතැයි තමන් සිතන බවයි ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස සහ මෛත්‍රීපාල සිරිසේන සුසංයෝගය පිළිබඳව යම්කිසිවකු දේශපාලනික වශයෙන් බලාපොරොත්තු තබාගෙන ඇත්නම් එම සිහිනය කිසිදා සැබෑ නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

2018 ඔක්තෝබර් 26 වනදා රටේ ජනතාව ප්‍රාර්ථනා කළේ මෛත්‍රී - මහින්ද සුසංයෝගය බව පැවසූ ඒ මහතා රටේ ජනතාව ඉදිරියටත් බලාපොරොත්තු වන්නේ ඒ දෙදෙනාගේ සුසංයෝගය මත බිහිවන ජනාධිපතිවරයකු හෝ වත්මන් ජනාධිපතිවරයාම බවත් ඒ අවධාරණය කළේය.

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (16) බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)