Monday, October 21, 2024
Follow Us
මහින්දගේ ආණ්ඩුවක් තිබුණා නම් පාස්කු ඉරිදා ප්‍රහාරයක් නෑ - බන්ධුල

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් තිබුණා නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා පළවෙනි ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීම සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල නාම ලේඛනයක් ලබා දුන්නේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල නොවන බවයි ඒ මහතා සඳහන් කළේ.

එහෙත් එසේ ආණ්ඩුව පිහිටවූ මොහොතේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වුණු බවට සාක්ෂි පැහැදිලිවම පවතින බවටත් ඒ මහතා චෝදනා කළේය.

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (13) හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් සහරාන් හෂීම්ලාගේ අන්තවාදී කණ්ඩායම පළමු මිනිස් ඝාතනය වශයෙන් මඩකළපුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ සහ බන්ධුල ගුණවර්ධන මහතාගේ දින 51 ආණ්ඩු සමයේ වන අතර ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු කෙරුණේ ද නොමැති බව සිහිපත් කළ යුතුය.

(LNW)