Monday, October 21, 2024
Follow Us
සජිත් එජාපය පාවා දෙමින් මෛත්‍රී සරණ යයි !

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණයට තමන් එකඟ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ ලක්ෂ 44ක් පමණ වන දරු දැරියන්ගේ ජීවිත මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කරගන්නේ කෙලෙසදැයි තමන් මරණ දඬුවමට එරෙහි පාර්ශ්වයන්ගෙන් විමසන බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරවීමට එරෙහි පිරිස පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ට ද මරණ දඬුවම ලබාදීමට විරුද්ධ බවට ඒ මහතා චෝදනා කළේය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරවීමට තමන් ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන්ම නිවේදනය කර තිබිණි. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම තවත් නොයෙකුත් මැති ඇමතිවරුන් පසුගිය කාලය පුරාවටම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණයට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේම පක්ෂය චෝදනා එල්ල කරමින් මරණ දඬුවමට පක්ෂව ජනාධිපතිවරයා සමඟ සිටගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධයක් පවත්වාගෙන යන බව රටට රහසක් නොවන අතර ඔහු සිය පක්ෂයේ තීරණ පවා ප්‍රසිද්ධියේ විවේචනය කරමින් මේ මොහොතේ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට පටන්ගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස මරණ දඬුවමට පක්ෂ වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපතිවරයා සමඟ එක කඳවුරේ සිටින විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවා මරණ දඬුවමට එරෙහිව සිටින පසුබිමක් තුළය.

එජාපයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට දඟළන්නේ මෙවැනි පුද්ගලික අරමුණු වෙනුවෙන් පක්ෂ ප්‍රතිපත්ති පාවාදෙන, සිය වන්දනීය, නන්දනීය, පූජනීය, ආදරණීය පියාණන්ගේ ප්‍රතිපත්ති පවා පාවාදෙන ඩීල්දාස කෙනෙකු වීම හාස්‍යජනකය.

(LNW)