Monday, October 21, 2024
Follow Us
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේදී පොහොට්ටුව සහ නිදහස් පක්ෂය එක්වෙයි

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට තීරණය කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර සඳහන් කළේ ඊට අදාළ නිල තීරණය අද හෝ හෙට ප‍්‍රකාශයට පත් කරන බවයි.

විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී ගන්නා තීරණය පිළිබඳ නෙත් නිවුස් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන මන්තී‍්‍රවරුන්ගෙන් ද විමසීමක් කළා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ විශ්වාසභංගයට පක්ෂව සිය මන්තී‍්‍රවරුන් ඡන්දය ලබා දෙන බවයි.

මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ අනුව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ජය ගත හැකි දැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ "මෙතෙක් විශ්වාසභංගයකට ලැබිච්ච වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන එය ජයග්‍රහණය කරන්න උපරිමයෙන් මැදිහත් වෙන බවයි." යනුවෙනි.

ඊයේ දින ආරම්භ කෙරුණු ජනතා විමුක්ති පෙරමුණේ පා ගමන අද (08) පෙරවරුවේ මොරටුවෙන් ආරම්භ කෙරුණා. නුගේගොඩදී අද පස්වරුවේ ජන රැළියක් පවත්වා පාගමන අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු විරෝධය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ මීට පෙර බවයි.

එහෙත්, ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් කියා සිටියේ ආණ්ඩුව රට පාලනයට අසාර්ථක බව දැන් හොඳාකාරවම ඔප්පු කර ඇති බවයි. ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන 11වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.

(Neth)