Monday, October 21, 2024
Follow Us
මෛත්‍රී තවත් වසරකට පුටුව රැක ගැනීමේ උත්සාහයක්

ජනාධිපතිවරණය කල්දමා තවත් වසරක කාලයක් සිය පුටුව ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ දරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනාවරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ ක‍ළේ ජනාධිපතිවරයා මේ දිනවල ඊට තිබෙන නීතිමය ප්‍රතිපාදන සලකා බලමින් සිටින බවයි.

ඒ අනුව තවත් වසරක් බ‍ලයේ සිටීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ද ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු ලැබී ඇති බව ද මන්ත්‍රීවරයා පවසයි.

2015 ජනවාරි 09 වැනිදා ජනාධිපතිධුරයේ දිවුරුම් දුන් වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය මෙම වසර තුළදී අවසන් වීමට නියමිතය. ඔහු මීට පෙර ද ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ අතර එහිදී අධිකරණයේ මතය වූයේ 19 වැනි සංශෝධනය සම්මත කිරීමට පෙර ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දුන් නමුත්, වත්මන් ජනාධිපතිවරයාට ද එකී ව්‍යවස්ථා සංශෝධනය අදාල වන බවයි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට තනතුර දැරිය හැක්‍කේ වසර 05 ක් පමණක් බව අධිකරණයේ මතය විය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කළේ නැවත දෙවැනි ධුර කාලයක් පිළිබඳව බලාපොරොත්තුවක් නොමැති බව පවසමින් බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා සිය ධූර කාලය වැඩිකර ගැනීම සඳහා උත්සාහ කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

කුමන උත්සාහයන් පැවතියද 2020 වසර ආරම්භ වන්නේ නව ජනාධිපතිවරයෙකු යටතේ බව ද ඔහු ප්‍රකාශ කරයි.

(LNW)