Monday, October 21, 2024
Follow Us
කාරක සභාව ගැන කිසිම විශ්වාසයක් නැහැ

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම කාරක සභාව පත්කර සතියකින් පමණ පසු මන්ත්‍රීවරු, ආණ්ඩුකාරවරු ඇතුළු ඕනෑම කෙනෙක් ඊට කැඳවිය හැකි බවට තීරණයක් ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එහෙත් ඒ ගැන මෙම කාරක සභාවට සහය පළකර අත්සන් තැබූ මන්ත්‍රීවරු දැන නොසිටි බව ඔහු කියා සිටියි.

"අප්‍රේල් 21ප්‍රහාරයෙන් පස්සේ එනවා කමිටුවක්. තව සතියක් විතර ගියාම යෝජනාවක් එනවා මන්ත්‍රීවරු, ආණ්ඩුකාරවරු ඇතුළු ඕනෑම කෙනෙක් කමිටුවට කැඳවන්න පුළුවන් කියලා. මේක කාරක සභාව පත්කරන්න කියලා අත්සන් කරපු මන්ත්‍රීවරුන් දන්නෙත් නැහැ. දැන් එක එක්කෙනා ගෙනල්ලා මේක සුද්ද කරනවා. ඒ නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන විශ්වාසයක් නැහැ. වගකීමක් තියෙන මිනිස්සු වැඩකරන්නේ ඔහොම නෙවෙයි.

අනික හොයල බලන්න ඕනේ මේ රටේ නිලධාරීන් ඇයි තීරණ ගන්නේ නැත්තේ ඇයි කියලා. මේ රටේ මිනිස්සු තීරණ ගන්නේ නැහැ දැන්. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ."

මෙම පාර්ලිමේන්තු කාරක සභාව හමුවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද කැඳවා තිබූ අතර ඔහු සහභාගීත්වය ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පත් කළ මෙම කමිටුවට සහභාගී නොවීමට මන්ත්‍රීවරුන්ට හැකියාවක් නොමැති අතර ඔවුන් එම වගකීමට බැඳී සිටිනා බවයි කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් නැවතත් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට දැනුම් දෙන බව සභාපතිවරයා පසුගිය 26 වැනිදා පැවති කාරක සභා රැස්වීමේදී අවධාරණය කළේය.

පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් තුළ තවත් බෝම්බයක් පුපුරුවා ගැනීමේ සැලැස්මක් තිබී ඇති අතර බෝම්බකරු එම හෝටලයට ඇතුළු වී ඇති නමුත් ඔහුගේ උත්සාහය අසාර්ථක වී තිබුණි.

මේ සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා රූපවාහිනී දේශපාලන වැඩසටහනකදී පැවසුවේ ඒ මොහොතේ එම හෝටලය තුළ විශේෂිත පුද්ගලයන් කණ්ඩායමක් සිටි බැවින් බෝම්බය පුපුරුවා හැර නොමැති බවයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ මොහොතේ වැඩසටහන මෙහෙය වූ නිවේදකයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියද මන්ත්‍රීවරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ගවේෂණය කර තොරතුරු සොයාගන්නා ලෙසයි.

පවත්නා තත්ත්වය හමුවේ දයාසිරි ජයසේකර මහතාගේ මෙම ප්‍රකාශය ඉතා බරපතල කාරණයක් බැවින් ඒ ගැන විමසීම සඳහා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා තිබේ.

එහත් ඔහු දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ කාරක සභාව සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

මේ වන විට ඔහු නිලධාරීන්ට චෝදනා කරමින් සිටින්නේ ඔවුන් තීරණ නොගන්නා බව පවසමිනි.

කෙසේවෙතත් මෙරටේ නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාවක් දේශපාලන අධිකාරිය විසින් තහවුරු කර ඇත්ද පිළිබඳ මේ මන්ත්‍රීවරු නැවත නැවතත් බැලිය යුතුය.

නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුව ඇති ආකාරය මේ වන විට කාරක සභාවේ සාක්ෂි ලබා දුන් නිලධාරීන් විසින්ම අනාවරණ කර තිබේ.

එවන් පසුබිමක දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තොත්ත බබෙකු වීමට උත්සහ කිරීමම හාස්‍යජනකය.

(LNW)