Saturday, October 19, 2024
Follow Us
රුසියානු - ශ්‍රී ලංකා අන්තර් සම්බන්ධතා ශක්තිමත් කෙරේ  

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුසියානු තානාපති ලෙවන් එස්. ෂගාරියන් (Levan S. Dzhagaryan) මහතා අතර හමුවක් ඊයේ  (12) කොළඹ, අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා රුසියානු ජාතික දිනය වෙනුවෙන් රුසියානු තානාපතිවරයා වෙත සුබ පැතුම් එක් කළ අතර රුසියාව මෙරටේ සුවිශේෂ මිතුරෙකු බව සඳහන් කළේය.  ඒ වෙනුවෙන් තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කළ අතර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට තම රට සම්පූර්ණයෙන්ම කැප වී සිටින බව අවධාරණය කළේය. 

2020 වසරේ තමන් විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටිය දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Sergey Lavrov) සමඟ තමන් සිදුකළ සාකච්ඡා පිළිබඳව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, වෙළෙඳ හා ආර්ථික, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ රුසියානු-ශ්‍රී ලංකා අන්තර් රාජ්‍ය කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳව තෘප්තිමත් වන බව  ද ප්‍රකාශ කළේ ය.

රැකියා නියෝජිතායතන මගින් බඳවාගත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සාමාජිකයින්ගේ ගැටලුව පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා සහ තානාපතිවරයා සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වූ අතර දෙරට අතර වෙළෙඳ, ආයෝජන, අධ්‍යාපන, සංචාරක සහ බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීමේ ක්‍රම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් කෙරිණි.