Saturday, October 19, 2024
Follow Us
ලිංගික ඇසු­රක් සැඟ­වී­මට මුදල් ගෙවීමේ නඩු­වෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වර­ද­කරු වෙයි

නිල් චිත්‍ර­පට නිළි­යක වන ස්ටෝමි ඩැනි­යෙල්ස් සමඟ ලිංගික සම්බ­න්ධ­තා­වක් පැවැ­ත්වී­මෙන් පසු එය රහ­සක් ලෙස තබා ගැනීම වෙනු­වෙන් ඇයට අමෙ­රි­කානු ඩොලර් එක්ලක්ෂ තිස්ද­හ­සක මුදල් ගෙවී­මක් සිදු කිරීම සහ එය සැඟ­වී­මට සිය ව්‍යාපා­රික ගිණුම ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝද­නාව සම්බ­න්ධව අමෙ­රි­කාවේ හිටපු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් වර­ද­කරු බව ඊයේ නිව්යෝක් නුවර අධි­ක­ර­ණය තීන්දු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට එරෙ­හිව නඩු විභා­ග­යක් පවත්වා වර­ද­කරු කළ පළමු අව­ස්ථාව ලෙස එය ඉති­හා­ස­යට එක් වූ බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. වසර 2016 ජනා­ධි­ප­ති­ව­ර­ණය ආස­න්නව තිබි­යදී එය සිදුවී ඇති අතර, හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව ගොනු කර තිබූ චෝදනා 34කට ඔහු වර­ද­කරු බව අධි­ක­ර­ණය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

ඊයේ නඩු විභා­ග­යෙන් පසු නිව්යෝක් අධි­ක­ර­ණ­යෙන් පිට­තට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ එය අව­මා­න­යක් බවය. ඔහුගේ රිප­බ්ලි­කන් පක්ෂයේ සෙසු නියෝ­ජි­ත­යන්ගේ ද සහාය ඔහුට ලැබී ඇති අතර, ඔහු ඉතා දරුණු ලෙස විනි­සු­රු­ව­රයා විවේ­ච­නය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

තමාට එරෙ­හිව අධි­ක­ර­ණය දෙන තීන්දුව කුමක් වුවද, සැබෑ තීන්දුව ප්‍රකා­ශ­යට පත් වන්නේ ලබන නොවැ­ම්බ­රයේ 5 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඔහුගේ නඩු තීන්දුව ලබන ජූලි මස 11 වැනිදා ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මිත බවත්, හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට නිව්යෝක් අධි­ක­ර­ණයේ විනි­සුරු ජුවාන් මර්චන් ලබා දෙන තීන්දුව එක් චෝද­නා­ව­කට වසර 4 බැගින් සිරදඬු­ව­මක් හෝ උප­රිම වසර 20ක සිරදඬු­ව­මක් හෝ අති­වි­ශාල වන්දි මුද­ලක් හෝ විය හැකි බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

කෙසේ වෙතත් වන්දි මුද­ලක් පැනවී­මට තීන්දු කෙරෙන්නේ නම් ලබන නොවැ­ම්බර් මාසයේ පැවැ­ත්වෙන අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට රිප­බ්ලි­කන් පක්ෂයේ අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් වීමට නිය­මිත 77 හැවි­රිදි ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒ සඳහා නඩු තීන්දුව බාධා­වක් නොවනු ඇතැයි ද වාර්තා වේ. ඔහුගේ නඩු විභා­ගය පිළි­බඳ ප්‍රකා­ශ­යක් කර ඇති කැලි­ෆෝ­නියා විශ්ව­වි­ද්‍යා­ලයේ නීතිය පිළි­බඳ මහා­චාර්ය රිචඩ් එල්. හසේන් සඳ­හන් කර ඇත්තේ අමෙ­රි­කාවේ මැති­ව­රණ නීති­යට අනුව අප­රාධ චෝදනා යටතේ වැරැ­දි­කරු වීම ජනා­ධි­ප­ති ­ධු­ර­යට පත්වී­මට බල­පෑ­මක් එල්ල නොවන බව එරට ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ සඳ­හන් වන බවය. ජනා­ධි­ප­ති ­ධු­රය දැරී­මට ආණ්ඩු­­ක්‍රම ව්‍යස්ථාව මගින් සඳ­හන් කර ඇත්තේ සීමිත කොන්දේසි කිහි­ප­යක් පම­ණක් බවත්, අවු­රුදු 35ට වැඩි වීම, උත්ප­ත්ති­යෙන්ම අමෙ­රි­කානු ජාති­ක­යකු වීම සහ අවම වශ­යෙන් අවු­රුදු 14ක කාල­යක් එරට පදිං­චිව සිටීම පම­ණක් බවත් මහා­චා­ර්ය­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ. තීන්දුව කුමක් වුවද මීට පෙර ඔහුට එරෙ­හිව පැවැති සියලු නඩු විභා­ග­ව­ලදී අඛ­ණ්ඩව අභි­යා­චනා ඉදි­රි­පත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් එම තීන්දු­වට එරෙ­හිව අභි­යා­ච­නා­වක් ඉදි­රි­පත් කරනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

 

Dinamina