Wednesday, October 23, 2024
Follow Us
අධ්‍යාපන ඇමැති ලෝක අධ්‍යාපන සමුළුවට සහභාගී වෙයි

ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී වාර්ෂික ව පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වී සිටී.

රටවල් 118ක සහභාගීත්වයෙන් මැයි 7 සිට 10 දක්වා දිනවල පැවැත්වෙන මෙම අධ්‍යාපන සමුළුවේ 2023 වර්ෂයට අදාළ තේමාව වී ඇත්තේ 'ඉගෙනුම් සංස්කෘතික පෝෂණයත් අභියෝග ජයගැනීමේ නිපුණතා හා තිරසරභාවය ප්‍රවර්ධනයත් ඔස්සේ ශක්තිමත් හා වඩාත් ප්‍රශස්ත අධ්‍යාපනයක් බිහි කර ගැනීමයි.
මෙම සමුළුවේ දී තොරතුරු හා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේද භාවිත කරමින් අධ්‍යාපන අභියෝග ජයගැනීම සම්බන්ධයෙන් මෙන්ම ඒ සඳහා අධ්‍යාපනයට සම්බන්ධ සියලු ක්ෂේත්‍ර හා පාර්ශ්ව සහසම්බන්ධ කරගැනීම පිළිබඳ ව ද සාකච්ඡා කෙරේ.
එසේ ම සන්ධාන භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කිරීමේ නව ලොව ප්‍රවණතා පිළිබඳ ව ද මෙම සමුළුවේ දී ලෝක අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.

මෙම සමුළුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වන වාසනා එදිරිසූරිය, නිමාලි බදුරලිය යන මහත්මීහු සහ බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ඕලැන්ඩෝ එඩ්වඩ්ස් (Orlando Edwards) මහතා සහභාගී වූහ.