Wednesday, October 23, 2024
Follow Us
UNDP මෙරට නියෝජිතවරිය වී ප්‍රභේද ගැන දැනුවත් කරයි

ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේද ගණනාවක් මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වී පර්යේෂණ ආයතන විසින් නිදපවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිතවරිය හමුවෙමින් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නව නියෝජිතවරිය ලෙස පත්වූ Azusa Kubota මෙනවිය පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙරට කෘෂිකර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළාය. විශේෂයෙන් පසුගිය කාලය තුළ පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය විසින් ගනු ලැබු පියවර ඇය විසින් අගය කළාය.

2022 වසර තුළ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවෙතැයි බොහෝ දෙනෙක් උපකල්පනය කළත් රජය විසින් පසුගිය යල කන්නයේ සිට කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට ගත් පියවර නිසා අවශ්‍ය තරම් සහල් රට තුළ නිපදවා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් වසර 10කට පසුව මෙරට යල කන්නයක දී වගා කළ කුඹුරු ප්‍රමාණය ගොවීන් විසින් පසුගිය යල කන්නයේ දී වගා කළ බවත්, එමෙන්ම පසුගිය මහ කන්නයේ දී ද වාර්තාගත අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ වී වගාව ආදායම් උපයන වගාවක් බවට පත් කිරීමටත්, රටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය රට තුළ ම නිපදවා ගැනීමට නම් ඉහළ අස්වැන්නක් ලැබිය හැකි උසස් වී ප්‍රභේද හදුන්වා දිය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බතලගොඩ හා අම්බලන්තොට වී පර්යේෂණායතන විසින් මේ වනවිට ඉහළම වී අස්වැන්නක් ලැබිය හැකි වී ප්‍රභේද රැසක් හඳුන්වා දී තිබේ.

ජපාන රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් අප රටේ රැකියා විරහිත තරුණ කොටස් කෘෂිකර්මාන්තයට ආකර්ශණය කළ හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමය සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍යවරයා නියෝජිතවරියට යෝජනා කළේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.