Wednesday, October 23, 2024
Follow Us
ජනපති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගි වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගි වූහ.

තරුණ සහභාගීත්වය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඔහු ඝානා ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වූ අතර සමුළුවට සමගාමීව පැවැත්වූ 'Fireside Chat' වැඩසටහනට මහාචාර්ය වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ මහතා ලන්ඩන් නුවරදී හමුවී දෙරට අතර කෘෂිකර්මාන්ත, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ මෙන්ම එහි ඉදිරි කටයුතු සොයා බැලීමට දෙරටේ අමාත්‍යවරුන්ගේ හමුවක් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද නායකයන්ගේ අවධානය යොමුවූ අතර ස්වභාවික විපත්වලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි සහාය ලබාදීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළේය.