Thursday, October 24, 2024
Follow Us
 විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඇමරිකා එක්සත් ජනපදය අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මත පැනවූ තහනම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

"2023 අප්‍රේල් 26 වැනි දින, වයඹ පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මත තහනමක් පනවමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව පළ කරයි.
මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන දැඩි කනස්සල්ල විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් 2023 අප්‍රේල් 27 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ජුලී චන්ග් මහත්මිය වෙත පළ කරන ලදී.
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ඇමරිකා එක්සත් ජනපදය, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති සාකල්‍ය ප්‍රවේශයට අවාසිදායක බලපෑමක් එල්ල කරයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රතිසන්ධාන ව්‍යූහ ශක්තිමත් කිරීමෙහිලා රජය ලබා ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රගතිය මධ්‍යයේ මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම ද අවාසනාවන්ත තත්ත්වයකි.
මෙම අභියෝග මධ්‍යයේ වුවද, ප්‍රතිසන්ධාන කටයුතු සිදු කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ සමාජ-ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව ක්‍රියා කරනු ඇත."

විදේශ කටයුතු අමාත්‍යංශය