Thursday, October 24, 2024
Follow Us
චීනය නව බාහිර රෝගී සංකීර්ණයක් මෙරටට නිල වශයෙන් භාර දෙයි

චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය ඊයේ (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුන්නේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා විසින් එය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත භාර දීම එම රෝහල් සංකීර්ණයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි. එයට අදාළ ගිවිසුම් ලිපි හුවමාරු කරගැනීම අමාත්‍යවරයා හා චීන තානාපතිවරයා අතර මෙහිදී සිදු වූ අතර මෙයට සමගාමීව ඉකුත් වසර තුළ චීන රජය මගින් මෙරටට ප්‍රදානය කෙරුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ලිපි ගොනු හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.
කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෙම නව බාහිර රෝගී සංකීර්ණය චීන මහජන සමූහාණ්ඩුව මගින් මෑතකාලීනව මෙරට පරිත්‍යාග කෙරුණු විශාලතම ප්‍රදානයකි. මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 80ක මුදලක් වැයකර තිබේ. මෙහි බිම් මහලේ රෝගීන් ලියාපදිංචි කිරීම ,ඖෂධාගාරය ,හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ විද්‍යා ඒකකය සහ පොදු ආපනශාලාව වේ. දෙවන මහලේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය, අල්ට්‍රාසොනොග්‍රෆි ඒකකය,පිළිකා ඒකකය හා බහුවිධ පරීක්ෂණ මධ්‍යස්ථානය වන අතර තෙවන මහලේ බාහිර රෝගී සැත්කම්, ස්නායු ශල්‍ය සායනය, බාහිර ශල්‍ය සායනය, රසායනාගාර මධ්‍යස්ථාන ඇතුළත් වේ. 4 වන මහලේ භෞත චිකිත්සක ඒකකය ,රක්තවේද සායනය ,ජලභීතිකා සායනය, ප්ලාස්ටික් සැත්කම් සායනය, හිමෝෆීලියා සායනය, එන්ඩොස්කොෆි එ්කකය වේ. 05 වන මහලේ මනෝ චිකිත්සක සායනය, රුධිර කාන්දු පෙරණ ඒකකය, කායික රෝග සායනය හා වකුගඩු සායනය වේ. 6 වන මහලේ ආමාශ ආන්ත්‍රික සාය,නය හෘද සහ උරස් වාහිනි සායනය, උගුර කණ නාසය සායනය, විකලාංග සායනය ,ක්‍රීඩා වෛද්‍ය අංශය, චර්ම රෝග සායනය , මස්තිෂ්ක වාහිනිය සායනය, මෞත්‍රලිංගික සායනය වන අතර 07 වන මහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය, මහජන සෞඛ්‍යය පරිපාලන කාර්යාල සහ වාට්ටු ඇතුලත් කිරීමට සැලැසුම් කර ඇත.
“බීජිං” ගෘහ නිර්මාණ සැලසුම් ආයතනය හා “ෂෙන්සෙන්” ඉංජිනේරු අධීක්ෂණ හා උපදේශන සමාගම මෙහි ව්‍යාපෘති කළමනාකරණ ආයතනය ලෙස කටයුතු කෙරිණි. මෙම 08 මහල් ගොඩනැගිලි සංකීර්ණය වර්ග මීටර් 49150 ක ප්‍රමාණයක ඉදිකර තිබේ.