Thursday, October 24, 2024
Follow Us
ජපානයෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි තීරණයක්
උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් බිම හෙලීමට සූදානම් වන ලෙස ජපානය අද එරට හමුදාවට නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ උතුරු කොරියාව සිය පළමු හමුදා ඔත්තු චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග ජපාන රජය හමුදාවට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව SM 3 වර්ගයේ මිසයිල නාශක අවි භාවිත කරන ලෙස ජපාන රජය එරට හමුදාවට නියෝග ලබා දී ඇති බවයි පැවසෙන්නේ. SM 3 යනු කෙටි සහ මධ්‍ය පරාසයක දුරක් ඉලක්ක කෙරෙන බැලස්ටික් මිසයිල විනාශ කිරීමට අමෙරිකානු නාවික හමුදාව භාවිතා කරන ආරක්ෂක අවි විශේෂයක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

උතුරු කොරියාව මෙලෙස හමුදා ඔත්තු චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ට බැලස්ටික් මිසයිල තාක්ෂණයේ අත්හදා බැලීම් සිදු කිරීම තහනම් කර ඇති පසුබිමක් තුළයි.

කෙසේවෙතත් උතුරු කොරියාව ඒ සඳහා සූදානම් වුවහොත් බැලස්ටික් මිසයිලයක් කඩා වැටීමකදී සිදුවන හානිය සීමා කිරීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කරන ලෙස ජපානයේ ආරක්ෂක අමාත්‍ය යසුකාසු හමාඩා එරට හමුදාවට උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2012 සහ 2016 වසරවලදීද උතුරු කොරියාව චන්ද්‍රිකා දියත් කිරීම් ලෙස හඳුන්වමින් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. එම මිසයිල දෙකම ජපානයේ ඔකිනාවා කලාපයට ඉහළින් පියාසර කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.    

Neth