Thursday, October 24, 2024
Follow Us
බුදුන් වහන්සේ යනු රූපයට එහා ගිය විඥානයක්- අගමැති මෝදී කියයි

බුදුන් වහන්සේ යනු රූපයට එහා ගිය විඥානයක් බව ඉන්දීය අගමැති නිරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරයි. උන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට බෙහෙවින් අදාළ වන බව පෙන්වා දෙන ඒ මහතා නවීන ලෝකයේ ගැටලු සඳහා බුදුන් වහන්සේගේ ඉපැරණි ඉගැන්වීම්වලින් විසඳුම් සොයාගත හැකි බවද කියා සිටී.

ඒ මහතා මේ බව සඳහන් කළේ නවදිල්ලි නගරයේදී ආරම්භ වූ 2023 ගෝලීය බෞද්ධ සමුළුව අමතමිනි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ගෝලීය බෞද්ධ සමුළුව පසුගිය දා නව දිල්ලියේදී ආරම්භ කරන ලද අතර, පසුගිය 20, 21 දිනවල පැවති දෙදින සමුළුව ඉන්දීය රජය විසින් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය හා එක්ව සංවිධානය කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මේ සමුළුව ‘දර්ශනයේ සිට ප්‍රායෝගිකත්වය දක්වා සමකාලීන අභියෝගවලට ප්‍රතිචාර‘ යන තේමාව යටතේ පැවැත්විණි. මේ සමුළුව ගෝලීය බෞද්ධ නායකත්වය සහ විද්වතුන් සඳහා බෞද්ධ සහ විශ්වීය වැදගත්කමකින් යුත් කරුණු සහ ඒවා සාමූහිකව විසඳීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය කාරණා සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දීමේ ප්‍රයත්නයක් වන අතර, ලොව ප්‍රමුඛ පෙළේ විද්වත්හු, මහා සංඝරත්නය සහ ධර්මය ප්‍රායෝගිකව භාවිත කරන්නෝ රැසක් ඊට සහභාගි වූහ. ශ්‍රී ලංකාවෙන් ද මහා සංඝරත්නය සහ නිලධාරීහු මේ සමුළුවට සහභාගෙි වූහ.

සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ විවිධ ක්ෂේත්‍ර රැසක පුද්ගලයන් රැසක් සමුළුවට සහභාගි වීමෙන් පිළිබිඹු කෙරෙන්නේ සමස්ත මනුෂ්‍යත්වයම එක් හුයකින් යා කරන බුදුන් වහන්සේගේ ධර්මයේ ව්‍යාප්තිය වන බවයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට බෙහෙවින් අදාළ වන බව පැවසූ ඒ මහතා නවීන ලෝකයේ ගැටලුවලට බුදුන් වහන්සේගේ ඉපැරණි ඉගැන්වීම්වලින් විසඳුම් සොයාගත හැකි බවද පැවසීය. ඉන්දියාව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රචලිත කිරීමට කැප වීමෙන් කටයුතු කර ඇති බව අගමැතිවරයා සඳහන් කළේය. ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය, සාරානාත් සහ කුෂිනගර් ප්‍රතිසංස්කරණය කිරීම, කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය හා එක්ව ලුම්බිණියේ ඉදි කළ බෞද්ධ උරුමය සහ සංස්කෘතිය සඳහා ඉන්දීය ජාත්‍යන්තර මධ්‍යස්ථානය වැනි බුදු දහමේ ප්‍රවර්ධනයට ගත් පියවර හෙතෙම සිහිපත් කළේය.

මේ සමුළුව ඉන්දියාවේ 75 වන නිදහස් දිනය සමරන අවස්ථාවේදී පැවැත්වෙන බව සිහිපත් කරමින් අගමැතිවරයා සඳහන් කළේ ඉන්දියාව සතුව සිය අනාගතය සහ ගෝලීය යහපත සඳහා නව අධිෂ්ඨානයන්ට සුවිසල් ඉලක්කයක් ඇති බවයි. විවිධ ක්ෂේත්‍රවලින් ඉන්දියාව විසින් ළඟා කර ගත් මෑත කාලීන ගෝලීය ජයග්‍රහණ පිටුපස ඇති අනුප්‍රාණය බුදුන් වහන්සේ වන බව අගමැතිවරයා සඳහන් කළේය.

සමාරම්භක ගෝලීය බෞද්ධ සමුළුව සියලු ජාතීන්ගේ ප්‍රයත්න සඳහා ඵලදායි වේදිකාවක් නිර්මාණය කරනු ඇතැයි අගමැතිවරයා විශ්වාසය පළ කළේය.