Thursday, October 24, 2024
Follow Us
 රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධියට ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහාය  

ශ්‍රී  ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පත්කල ස්ථාවරකරණ කමිටුව පිළිබදව කරුණු පැහැදිලි කිරීමට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (19) දින ඩුබායි හි පිහිටි ආසියානු රග්බි මූලස්ථානයේ දී එහි සභාපති කයිස් අල් දලායි මහතා (Mr.Qais Al Dhalai) හමුවිය.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පසුගිය වසර ගණනාව පුරාම ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු නොකිරීම, ශ්‍රී ලංකාවේ මූලික නීති කඩකිරීම් යන කරුණු ඇතුළත්ව සිදු කරන ලද ක්‍රියාවන් ගණනාවක් හේතුවෙන් ක්‍රීඩා පනතේ ඇති වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බවට අමාත්‍යවරයා කරුණු  පැහැදිලි කළේය.

ඇතිව තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බවත්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑම විටම සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවත් කයිස් අල් දලායි මහතා එහි දී පෙන්වා දුන්නේය. 

පසුගිය 12 වන දින තමන් විසින් කරුණු පැහැදිළිකර එවන ලද ලිපියට යහපත් ප්‍රතිචාර දක්වමින් පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනය සමඟ සමීපව වැඩ කටයුතු කිරීමට තමන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.