Thursday, October 24, 2024
Follow Us
රුසියාවේ විශ්වවිද්‍යාල ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනාවක්

රුසියාවේ නිල සංචාරයක නිරත වන ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය සංචාරය අතර රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (පැට්‍රික් ලුමුම්බා විශ්වවිද්‍යාලය) නිරීක්ෂණයකටද එක් විය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ නිරීක්ෂණයට එක් වූ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා දූත පිරිස රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔලෙග් යස්ට්‍රෙබොව් මහතා ඇතුළු නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.

රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දීර්ඝ හා ශක්තිමත් සබඳතා පවත්වන බවත් වසර 60කට වැඩි ඉතිහාසයක් තුළ ශ්‍රී ලංකාවෙන් ඉහළ සුදුසුකම් ලත් සිසුන් 1000 කට වැඩි පිරිසකට අධ්‍යාපනය ලබා දී ඇති බවත් මහාචාර්ය ඔලෙග් යස්ට්‍රෙබොව් මහතා අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කළේය.

එමෙන්ම රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මියගේ ද සහායෙන් පසුගිය වසරේ විශ්වවිද්‍යාල නියෝජිත කණ්ඩායම් දෙකක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් කළ බව ද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයාගේ සංචාරය එම සහයෝගීතාව වර්ධනය කිරීමට තවත් ශක්තියක් වනු ඇති බවට මහාචාර්යවරයා විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයෙන් ලැබෙන සුවිශේෂී දායකත්වය අගය කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යෝජනා කළේය. ශ්‍රී ලංකාව අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට දරන උත්සාහයේදී, උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමට හැකිවන මෙම කාර්යයට මුලපිරීම සඳහා සිය උපරිම කැපවීම හා දායකත්වය ලබාදෙන බවට අමාත්‍යවරයා සහතික විය.

විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල සබඳතා වර්ධනය කිරීමට අමතරව රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ශාඛාවක්‌ ශ්‍රී ලංකාව තුළ විවෘත කිරීමේ හැකියාව පිළිබඳව කටයුතු කිරීමට මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇති විය. නිල සාකච්ඡාවලින් අනතුරුව නියෝජිත පිරිස විශ්වවිද්‍යාලයේ දූත මණ්ඩල පාලන මධ්‍යස්ථානයේදී විශ්වවිද්‍යාලයේ නවතම අධිතාක්ෂණ පර්යේෂණ පිළිබඳ ඉදිරිපත් කිරීමක් සඳහා ද එක් විය.