Thursday, October 24, 2024
Follow Us
විදේශ ඇමැති සහ අධිකරණ ඇමැති දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මැතිනියගේ ඇරයුමකට අනුව, මාර්තු 21 සිට 25 යන දිනවල දකුණු අප්‍රිකාව තුළ ක්‍රියාකාරී සංචාරයක නිරත වේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ද අමාත්‍ය සබ්රි මහතා සමඟ මෙම සංචාරයට සහභාගි වී සිටි.

මෙම සංචාරය, දේශීය යාන්ත්‍රණ හරහා ප්‍රතිසන්ධාන කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව දැක්වෙන ප්‍රතිපත්තිය සහ ඒ පිළිබඳව ජාත්‍යන්තර සංසද හමුවේ සිදු කර ඇති ප්‍රකාශ සමඟ අනුකූල වේ. මෙම පසුබිම තුළ ප්‍රතිසන්ධානය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් යෝජනා කරන ලද සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සංකල්පය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එම අනුකමිටුවේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා ය. මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳව සාකච්ඡා පවත්වා සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ නීතියක් කෙටුම්පත් කිරීමට පහසුකම් සැලසීමටත් විදේශ කටයුතු අමාත්‍යවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට අමාත්‍ය මණ්ඩලය විසින් බලය පවරා ඇත.

මෙම ක්‍රියාවලියට සහය දැක්වීමේ අරමුණ සහිත දකුණු අප්‍රිකානු රජය, දකුණු අප්‍රිකාව සිය සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ දී ලද අත්දැකීම් සම්බන්ධයෙන් අවබෝධය ලබා දීම සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාට ඇරයුම් කළේ ය.