ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමාවන්
දකුණු අප්‍රිකාවෙන් හඳුනාගනු ලැබූ ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වන රටවල් ගණන විශාල ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනඩාව, ස්කොට්ලන්තය,බොට්ස්වානා, බෙල්ජියම, ඊශ්‍රායලය, ජර්මනිය, චෙක් ජනරජය, ඉතාලිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය වැනි රටවලින්ද, හොංකොං කලාපයෙන්ද ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් බොහෝ දෙනෙකු පසුගිය දිනවල අප්‍රිකානු කලාපයේ රටවල සිට පැමිණි අයය.
ඊයේ (29 වැනිදා) කැනඩාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයන් දෙදෙනකුද, ස්කොට්ලන්තයෙන් ආසාදිතයන් සය දෙනෙකුද හමු වී ඇත. කැනඩාවේ ඔන්ටාරියෝ පළාතෙන් වාර්තා වී ඇති ආසාදිතයන් දෙදෙනාම පසුගිය දිනවල නයිජීරියාවේ සංචාරය කළ අයය. කැනඩාව මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමාවන් පනවමින් සිටී.
දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් හතක සිට පැමිණෙන විදේශීය සංචාරකයන්ට කැනඩාවට ඇතුල්වීම තහනම් කර ඇත. ඔන්ටාරියෝහි සෞඛ්‍ය අමාත්‍යංශය මධ්‍යම රජයට යෝජනා කර ඇත්තේ රටට ඇතුල් වන සියලුම දෙනා, ඔවුන් කුමන රටක සිට පැමිණියද, කොවිඩ් පරීක්ෂණවලට යොමු කිරීම අනිවාර්ය කරන ලෙසය.
මේ අතර ස්කොට්ලන්තයෙන් හමු වී ඇති ආසාදිතයන් පසුගිය දිනවල කිසිදු රටක සංචාරය කර නොමැති අය වීම විශේෂත්වයකි. ස්කොට්ලන්තයෙන් හමු වූ ආසාදිතයන් සය දෙනා නිසා එක්සත් රාජධානියෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන නවයක් දක්වා වැඩි වී තිබේ. ස්කොට්ලන්තය එක්සත් රාජධානියට අයත් රටකි.
මේ අතර පෘතුගාලයේ පාපන්දු සමාජයක ක්‍රීඩකයන් 13 දෙනෙකුටද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇතැයි සැක කරන බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔවුන්ට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබුණද පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වනවිට එය අවසන් වශයෙන් තහවුරු කර තිබුණේ නැත. මෙම පාපන්දු සමාජයේ ක්‍රීඩකයකු පසුගිය දිනවල දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇත.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (29 වැනිදා) ඔමික්‍රෝන් සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබිණි. මෙය ලෝකය පුරා විශාල වශයෙන් පැතිරෙන්නට පටන් ගතහොත් ලෝකයට ඉතා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවිය හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි. මේ නිසා ඔවුන් සිය සාමාජික රටවලට උපදෙස් දෙන්නේ එන්නත්කරණ වැඩසටහන් වේගවත් කරන ලෙසයි. එමෙන්ම වයිරස ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා කෙරෙන පරීක්ෂණ ඉහළ දමන ලෙසද ඔවුන් උපදෙස් දී තිබේ.
(Aruna)