ඩෙන්මාර්කයේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා මැතිතුමා ඩෙන්මාර්කයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අක්ත ගන්වමින් ඩෙන්මාර්ක රාජධානියේ දෙවන මාග්‍රත් රැජින විසින් 2021 නොවැම්බර් 05 වැනි සිකුරාදා දින තානාපතිවරයාගේ අක්තපත්‍ර ලිපි භාර ගන්නා ලදි.
රැජින සමඟ පවත්වන ලද හමුව සහ අක්තපත්‍ර පිළිගැන්වීම කෝපන්හේගන් හි පිහිටි ඇමලියන්බර්ග් මාළිගයේ ඓතිහාසික කහ කාමරයේ දී සිදු කෙරිණි.
තානාපතිවරයාගේ ධූර කාලය තුළ දී දෙරට අතර පවත්නා සබඳතා සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මාග්‍රත් රැජින සඳහන් කළාය. දෙරට අතර පවත්නා යහපත් සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට තමන් තුළ ස්ථිර අධිෂ්ඨානයක් ඇති බව තානාපති පෙරේරා මැතිතුමා ප්‍රකාශ කළේ ය.
ඩෙන්මාර්කයේ රැජින සහ තානාපතිවරයා අතර පැවති හමුවක දී තානාපති දර්ශන පෙරේරා මැතිතුමා දෙවන මාග්‍රත් රැජින වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබපැතුම් පිරිනැමීය. ඉන් අනතුරුව පවත්වන ලද සංවාදයේ දී වර්ෂ 1600 ගණන්වල මුල් භාගයේ දී ඩෙන්මාර්කය සහ ශ්‍රී ලංකාව අතර ඇති වූ ඓතිහාසික සම්බන්ධතා එනම් සිව් වැනි ක්‍රිස්ටියන් රජුගේ රාජ සභාව සහ උඩරට රාජධානිය අතර ඇති වූ සබඳතා පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සහ නිර්මාණාත්මක කලාවන් සහ සිතුවම් පිළිබඳ පවත්නා අන්‍යෝන්‍ය උනන්දුව ඩෙන්මාර්ක සංචාරකයන් අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැගී එන ජනප්‍රියත්වය මෙන්ම අන්‍යෝන්‍ය උනන්දුවක් සහිත වෙනත් ක්ෂේත්‍ර පිළිබඳ අදහස් ද හුවමාරු කරගන්නා ලදි.
මෙම සාකච්ඡාවට පෙර පවත්වන ලද අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය වසංගතය ආශ්රිත පූර්ව ආරක්ෂණ මාර්ගෝපදේශ හේතුවෙන් සරල වශයෙන් පවත්වන ලදි. තානාපති පෙරේරා මැතිතුමා උත්සව කටයුතු ප්‍රධානියා විසින් පිළිගනු ලැබූ අතර රැජින සමඟ පවත්වන ලද හමුවට පෙර කෝෂ්ඨාධිකාරී සාමිවරයා විසින් පිළිගනු ලැබී ය.
තානාපතිවරයා සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය ලේකම් ලොට් මචෝන් මහත්මිය සහ ඩෙන්මාර්ක විදේශ අමාත්‍යංශයේ සහ ඩෙන්මාර්ක කර්මාන්ත ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. තානාපතිවරයා කෝපන්හේගන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය මාරතුගොඩ උපරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ ද හමුවක් පැවැත්වීය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ස්ටෝක්හෝම්
2021 නොවැම්බර් 15 වැනි දින