තරගාවලියේ වීරයා ඩේවිඩ් වෝනර්
මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල් සහ ඩේවිඩ් වෝනර්ගේ වේගවත් පිති ප්‍රහාරය හමුවේ ලෝක කුසලාන අවසන් මහා තරගයක වැඩිම ලකුණු හඹායෑම සටහන් කළ ඔස්ට්‍රේලියාව ඉතිහාසයේ පළමු වතාවට විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙසින් ඊයේ (14 වැනිදා) කිරුලු පැළැදීය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ නවසීලන්තය කඩුලු 08 කින් පරාජයට පත්විය.
ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස ලෝක කුසලානයක අවසන් මහා තරගයක් කරා පිවිසි දෙවැනි අවස්ථාව මෙය වූ අතර මීට පෙර 2010 වසරේදී ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.
මෙම ජයත් සමගින් ලෝක කුසලානයට අමතරව ඔස්ට්‍රේලියාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක (ආසන්න වශයෙන් කෝටි 32ක්) මුදලක් සහ අනුශූරතාවය දිනූ නවසීලන්තයට එයින් හරි අඩක් හෙවත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 08ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 16ක්) වශයෙන් හිමි විය.
ගෙවුනු වසර තුනක කාලයේදී කේන් විලියම්සන්ගේ නායකත්වය යටතේ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහා තරගයකට පිවිසි තුන්වැනි අවස්ථාව මෙය විය. මේ වසරේ ලෝක ටෙස්ට් ශූරතාව දිනාගත් නවසීලන්තයට, 2019 එක්දින ලෝක කුසලානයෙන් සහ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අනුශූරයින් ලෙසින් ගමන අවසන් කිරීමට සිදු වීම කැපී පෙනෙන කාරණයකි.
අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් කඩුලු 04ක් දැවී නවසීලන්තය රැස්කළ ලකුණු 172ක ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 18.5කදී කඩුලු 08ක් අතැතිව ලකුණු 173ක් රැස්කරමින් අදාළ ජය සපුරා ගැණින. මේ දක්වා පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි 7ක අවසන් මහා තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය විය.
ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමේ මුලික ලකුණු පදනම දැමූ ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් යුගලය 2 වැනි කඩුල්ලට පන්දු 59කදී වේගවත් ලකුණු 92ක සබඳතාවයක් පිහිටවනු ලැබීය.
පාකිස්තානය සමග පැවැති අවසන් පූර්ව තරගයේදී සහ මෙම අවසන් මහා තරගයේදී පිට පිට අර්ධ ශතක කරා පිවිසි ඩේවිඩ් වෝනර් ඊයේ (14 වැනිදා) පන්දු 38කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 53ක් රැස්කර ගත්තේය. ට්‍රෙන්ට් බෝල්ට් විසින් එවූ වේග පන්දුවට ස්විප් පහරක් එල්ල කිරීමට යාමේදී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් වෝනර් පිටියෙන් ඉවත් විය. මෙවර තරගාවලියේ අර්ධ ශතක තුනක් ඇතුලුව මුලු ලකුණු 289ක් රැස්කිරීමත් සමග පිතිකරුවන් ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා වෝනර් පැමිණියේ තරගාවලියේ වීරයාට හිමි සම්මානයටද හිමිකම් කියමිනි.
තමා මුහුණ දුන් පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ඇරඹූ මිචෙල් මාෂ් සිය ඉනිමේ 34 වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් විස්සයි විස්ස දිවියේ 06 වැනි අර්ධ ශතකය සපුරා ගත්තේය. ජයග්‍රහණය වන තෙක්ම සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි මාෂ් හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමගින් පන්දු 50කදී ලකුණු 77ක් රැස්කරගනු ලැබුවේ සිය වැඩිම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාවද වාර්තා කරමිනි. ඒ හේතුවෙන් අවසන් මහා තරගයේ වීරයා සම්මානය මාෂ්ට හිමි විය. මාෂ් සමග එක්ව පන්දු 39කදී තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 66ක සබඳතාවයක් පවත්වමින් සිය වගකීම අකුරට ඉටු කළ ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 28ක් රැස්කර ගත්තේය. පන්දු 18කදී වාර්තා වූ එම ලකුණු සංඛ්‍යාවට හයේ පහරක් සහ හතරේ පහර 4ක් අන්තර්ගත විය.
අවසන් මහා තරගයට පෙර සහභාගි වු තරග 6කින් පහකම ජය දෙවනුව පන්දුවට පහරදීමෙන් හිමිකරගෙන තිබූ බැවින් කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගයේ දෙවනුව පන්දු යැවීමේදී පින්නෙන් ඇතිවන බලපෑම සහ මෙවර තරගාවලිය යටතේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරග 12කින් අවස්ථා 11කදීම දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම ජයග්‍රහණය කර තිබීම ඔස්ට්‍රේලියා නායකයා අදාළ තීරණය ගැනීමට හේතුවන්නට ඇත.
ලකුණු 10ක් ලබා සිටියදී ග්ලෙන් මැක්ස්වෙල් එවූ පන්දුවකට මැතිව් වේඩ් අතටම ලබාදුන් උඩ පන්දුව අතහැරීමේ වාසිය ලබා ගැනීමට නොහැකි වූ මාටින් ගප්ටිල්ට රැස්කරගත හැකි වූයේ පන්දු 35කදී ලකුණු 28ක් පමණි. ඇඩම් සම්පා එවූ පන්දුවකට ඩීප් මිඩ්විකට්හි හතරේ සීමාව ආසන්නයේ සිට මාකස් ස්ටොයිනිස් උඩපන්දුව රැකගනු ලැබුවේ මැතිව් වේඩ් අතින් පෙර සිදු වු වරද නිවැරදි කරන්නාක් ලෙසිනි.
ලකුණු 21ක් ලබා සිටියදී නවසීලන්ත නායකයා ලබාදුන් පහසු උඩ පන්දුව ෆයින් ලෙග්හි පන්දු රැකි ජෝෂ් හෙසල්වුඩ්ගේ අත්ලෙන් ගිලිහි හතරේ සීමාව කරා ඇදී ගියේය. එම වාසිය ලබාගත් විලියම්සන් එම 11 වැනි පන්දුවාරයේ ස්ටාර්ක් යොමුකළ සිව්වැනි සහ පස්වැනි පන්දු දෙකට හතරේ පහර දෙකක් එල්ල කරමින් හස්ලිවුඩ් අතින් සිදු වු වරදේ තරම කියා දුනේනේය.
ග්ලේන් මැක්ස්වෙල් යොමුකළ 13 වැනි පන්දුවාරයේ තෙවැනි සහ සිව්වැනි පන්දු වලට පිට පිට හයේ පහර එල්ල කරමින් පන්දු 32කදී විලියම්සන් සිය 14 වැනි අර්ධ ශතකය කරා පැමිණියේය. එතැන් පටන් සිය ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ නැංවූ විලියම්සන් මිචෙල් ස්ටාක් යොමු කළ 16 වැනි පන්දුවාරයට පිළිවෙලින් 4, 4, 6, 0, 4, 4 වශයෙන් ලකුණු 22ක් රැස්කර ගැණින.
කෙසේ නමුත් සිය විස්සයි විස්ස දිවියේ කුලුදුල් ශතකය පෙනී පෙනී තිබියදී ජෝෂ් හස්ලිවුඩ් එවූ පන්දුවකට ලෝන්ග් ඕෆ්හි පන්දු රැකි ස්ටීව් ස්මිත් අතට උඩ පන්දුවක් ලබා දී විලියම්සන් පිටියෙන් ඉවත් විය. ඒ වන විට පන්දු 48කට මුහුණ දී සිටි විලියම්සන් හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 85ක් රැස්කරගෙන සිටියේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලකුණු 2000 සීමාව ඉක්මවා යමිනි. එය සටහන් වූයේ විස්සයි විස්ස අවසන් මහා තරගයක ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මෙවර තරගාවලියේ දෙවැනියට වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින ඇඩම් සම්පා ඊයේ දවාගත් කඩුල්ලත් සමගින් තරග 7කදී කඩුලු 13ක් දවා ගැණින. අවසන් මහා තරගයේ දැඩි ප්‍රහාරයකට ලක් වූ මිචෙල් ස්ටාර්ක් යොමුකළ පන්දුවාර 4ට නවසීලන්ත පිතිකරුවන් ලකුණු 60ක් රැස්කර තිබීම කැපී පෙනෙන කාරණයකි.
පවර්ප්ලේ පන්දුවාර 06 අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 32ක් රැස්කරගෙන සිටි නවසීලන්තයට ලකුණු 100 සීමාව කරා පැමිණීමට පන්දුවාර 13කුත් පන්දු 5ක් බලා හිදීමට සිදු විය. නවසීලන්ත ඉනිමේ මුල් පන්දුවාර 09 ක්‍රියාත්මක කිරීම සඳහා ඔස්ට්‍රේලියානු නායකයා පන්දු යවන්නන් 06 දෙනෙකු භාවිතා කරන ලදී.
(Aruna)