Saturday, November 02, 2024
Follow Us
ISIS - තලේබාන් මත්ද්‍රව්‍ය ජාලය මැඬලීමට ඉන්දියාව, ලංකාව හා මාලදිවයින එක්ව පෙරට!

අයිඑස්අයිඑස් සහ තලේබාන් සංවිධාන සබැඳි මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන්ට එරෙහිව ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඒකාබද්ධ ක්‍රියාන්විත දියත් කිරීමට සූදානම් බවට ඉන්දියානු නාවික හමුදාපති අද්මිරාල් කරම්බිර් සිංග් පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඉකුත් සඳු (08) දින ය.

ඉන්දියානු IANS පුවත් සේවය වාර්තා කරන අන්දමට, අයිඑස්අයිඑස් සහ තලේබාන් සංවිධාන වෙත ලැබෙන අරමුදල් මේ වන විට නතර වී ඇති හෙයින් මෙම අන්තවාදී සංවිධාන විසින් සිය ආදායම් උපයා ගන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරවලින් බවට ඉන්දියානු නාවික හමුදාපතිවරයා ගෝවා සමුද්‍ර සමුළුව විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පවසා තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාලය මැක්‍රාන් වෙරළ තීරයේ සිට අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරන බවත්, එතැන් පටන් සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගත් ආර්ථිකයන් සහිත කලාපයන් ආවරණය කරමින් නැගෙනහිර දෙසට ගමන් කරන බවත් හෙතෙම පෙන්වා දී තිබේ.

මේ අනුව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙත ද මෙම මත්ද්‍රව්‍ය ජාලය පැමිණෙන බවට ඉන්දියානු නාවික හමුදාපතිවරයා අනාවරණය කළේය.

එහෙයින්, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සමඟ එක්ව බුද්ධි තොරතුරු ලද සැනින් මීට එරෙහිව කේන්ද්‍රගත මෙහෙයුම් දියත් කිරීමට ඉන්දියාව අපේක්ෂාවෙන් සිටින බව එරට නාවික හමුදාපති අද්මිරාල් කරම්බිර් සිංග් මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියන් සාගර කලාපය තුළ රටවල් වල නාවික හමුදාවන් අතර සාමූහික සමුද්‍රීය නිපුණතා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව පෙන්වා දෙන ඉන්දියානු නාවික හමුදාපතිවරයා මේ සඳහා ඒ ඒ රටවල භූගෝලීය පිහිටීම, මිනිස් ශ්‍රමය, තාක්ෂණය හා විවිධ ක්‍රියාන්විතයන් පිළිබඳව ඇති දැනුම ඉවහල් වන බවද අවධාරණය කළේය.

ඒ සඳහා ධාරිතා වැඩිදියුණු කිරීමට පුහුණු මෙහෙයුම් දියත් කළ යුතු බව පෙන්වා දුන් ඉන්දියානු නාවික හමුදාපතිවරයා, මේ සම්බන්ධයෙන් විශිෂ්ඨ කුසලතාවයකින් සමන්විත වන රාජ්‍යයක් වන්නේ සුවිසල් ත්‍රස්තවාදී ප්‍රවාහයක් පරාජය කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව බව ද පෙන්වා දී තිබේ.

ඒ අනුව, මෙම ඒකාබද්ධ ක්‍රියාන්විතය තුළ අවශ්‍ය පුහුණු මෙහෙයුම් සංවිධානය කිරීමට ද, ඒ සඳහා අවශ්‍ය සමුද්‍ර වේදිකාව සිය අසල්වැසි රාජ්‍යයන්ට ලබා දීමට ද ඉන්දියාව සූදානම් බව සිං මහතා ගෝවා සමුද්‍ර සමුළුව විවෘත කිරීමේ උත්සවය අමතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කළ අන්දම සිහිපත් කළ ඉන්දියානු නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අනෙත් රාජ්‍යයන්ට ශ්‍රී ලංකාවෙන් ඉගෙනීමට පාඩම් රැසක් ඇති බවයි.

(LNW)